ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අවුරුදු පණිවිඩය නිකුත් කරමින් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

නව වසරේ උදාව ගත වන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් ජීවිත සකසා ගැනීමටත් අදිටනින් පෙරට යෑමටත් අප දිරි ගන්වයි. එබැවින් අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන්ද පරිපූර්ණවය. සෞභාග්‍යය කරා යන ගමන සාර්ථකව ආරම්භ කර තිබියදී අනපේක්ෂිත ලෙස රට වෙලා ගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමඟ අපද පෙරමුණ ගත්තෙමු. බරපතළ අභියෝග හා බාධක හමුවේ වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසර සංවර්ධනයක අත්තිවාරම සැකසීමට අපට හැකි විය.

ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම්ය. නව රජය ගොඩනඟනු ලැබූයේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිවය. රටටත් ජනමතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන්නෙමු.

 
 

“සෞභාග්‍යයේ දැක්මේ” ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයයි. මේ සඳහා මුළුමහත් රාජ්‍ය සේවයත්, පෞද්ගලික ආයතනත් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. සෑම රාජ්‍ය සේවකයකුම තමාට පැවරෙන රාජකාරි කොටස මැනවින් ඉටු කරන්නේ නම් ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවේ. එම කැපවීම සෑම රජයේ සේවකයකුගෙන්ම මම බලාපොරොත්තු වෙමි. එසේම සෑම පුරවැසියකුම තම මව්බිම ගැන කැපවෙමින් කටයුතු කිරීමද අපේක්ෂා කරමි.

එළඹෙන නව වසරේදී කුමන බාධකයකට මුහුණ දීමට වුවත් ඒ සඳහා ආත්ම ශක්තිය හා ධෛර්යය අප සතුව ඇති බැව් අපි දැඩිව විශ්වාස කරමු. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාත්මක වන නිසා රට තුළ එම විශ්වාසය අප තහවුරු කර ඇත. විනයගරුක රටක ආර්ථික සහ සමාජයීය සශ්‍රීකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් අපි සියලු දෙනාම විනයගරුකව, අපගේ කාර්යභාරයන් මැනවින් ඉටු කිරීමට මේ වසර තුළදී අදිටන් කර ගනිමු.

මෙරට මෙන්ම එතෙර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ටත්, ඔවුන්ගේ දූ දරුවන්ටත් එළඹෙන වසර රෝග පීඩාවලින් තොර, ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

Emai