නව වසරේ වැඩ ආරම්භ කරමින් ජනපති කියයි

අභියෝග නිවැරැදිව ජය ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

නව වසරේ වැඩ ආරම්භ කරමින් ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමැතිවරු සහ සිය කාර්ය මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (1) පෙරවරුවේ මේ බව ප්‍රකාශ කෙළේය.

උදා වූ 2021 නව වසරට මැති ඇමැතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට සුබපැතුම් පුද කළ ජනධිපතිවරයා පිරිස සමඟ සුහද කතා බහක ද නිරත විය.

නව වසරක සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව දීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම්ව කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව අවංකව කැපවිය යුතු බව ජනාධිපති ලේකම්වරයා ඒ අවස්ථාවේ දී කියා සිටියේය.

වෘත්තීය නායකත්වයකට රට යොමුව තිබෙන බවත් කොවිඩ් වසංගතයත් සමඟ ඇතිව තිබෙන “නව සාමාන්‍යකරණය”(New Normal) යටතේ ජනතා අභිලාෂයන් ඉටු කරන රාජ්‍ය සේවයක් ජනාධිපතිතුමාගේ අපේක්ෂාව බව ජයසුන්දර මහතා පැවසීය.

ආර්ථික අර්බුදය හමුවේ වුවද ලක්ෂ 15කට අධික රජයේ සේවකයන්ටත්, ලක්ෂ 6කට අධික විශ්‍රාමිකයන්ටත් කිසිදු කප්පාදුවකින් තොරව නියමිත වේලාවට වැටුප් සහ දීමනා ගෙවූ ලොව එකම රට ශ්‍රී ලංකාව බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවකයා සුරැකීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කැප වී සිටී. උපරිම ජනතා සේවයකට කැපවීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කෙළේය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අධ්‍යක්ෂ ජනරාල් (පාලන) විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර යන මහත්වරු සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.