නව වසරේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීම ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය. එහිදී අමාත්‍යංශ කාර්ය මණ්ඩලය අමතමින් අමාත්‍යවරයා පැවැසුවේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථවත් කිරීම උදෙසා අභියෝගාත්මක යුගයක, ඒ වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය අභියෝගාත්මක ලෙස නව වසරට මුහුණ දෙමින් සියලු අභියෝග ජය ගැනීම අරමුණු කරගත යුතු බවයි. මේ උදෙසා නිසි වැඩපිළිවෙලක් ඔස්සේ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කාල රාමුවක් සහිත ඉලක්කගත ගමන් මගකට ජනමාධ්‍ය අමාත්‍යංශය පෙළගැස්වීම මෙරට අනාගත ගමන් මගෙහි නවමු හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
 
නව වසරේ අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ඇමතූ අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා පැවැසුවේ මහජන සේවකයන් ලෙස ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට යාමේදී ඇතිවන ගැටළු කෙරෙහි ධෛර්යයෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි. එ මගින් සාර්ථක ප්‍රතිඵල ළඟාකරගත හැකි බැවින් සියලු දෙනා ඉවසීම ප්‍රගුණ කිරීමේ වැදගත්කම ඔහු පෙන්වාදෙනු ලැබීය.
 
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ද සහභාගි විය.