අගමැති මහජන සම්බන්ධතා ඒකකය නවීකරණ කටයුතුවලින් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (04) පෙරවරුවේ විවෘත කෙරිණි.

කොළඹ 3, කොල්ලුපිටිය ආර්.ඒ.ද මැල් මාවතේ අංක 101 දරන ස්ථානයේ පිහිටි මේ ඒකකය මහජනතාවගේ පහසුව සඳහා එම ස්ථානයේම නැවත ස්ථාපිත කෙරුණු අතර, සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඡායනාවලින් අනතුරුව අගමැතිවරයා විසින් මංගල ප්‍රදීපය දල්වමින් මෙහි කටයුතු සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම මේ ස්ථාන‍ය මහජනතාවට විවෘතව පවතින අතර ජනතාවගේ යෝජනා, ගැටලු සහ පැමිණිලි වඩා කාර්යක්ෂම සේවාවක් ඔස්සේ ඵලදායී ලෙස විසඳුම් කරා යොමු කිරීම මහජන සම්බන්ධතා ඒකකයේ අපේක්ෂාවයි.

පසුගිය කාලයේ අගමැතිවරයාට යොමු කළ එවැනි යෝජනා, පැමිණිලි සහ ගැටලු අන්තර්ගත ලිපි 12000කට පමණ මේ ඒකකයේ මැදිහත්වීමෙන් ප්‍රතිචාර දක්වා ඇත.

අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, හර්ෂ විජේවර්ධන, මහජන සම්බන්ධතා ඒකකය භාර අතිරේක ලේකම් නිශාන්ත වීරසිංහ, රාජ්‍ය නිලධාරින්, පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, මහජන සම්බන්ධතා නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.