- තවත් අධ්‍යාපන ප්‍රකාශන 13ක් ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කරනවා
- ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන් අඩාළ වූ ආයතන කිහිපය අතරට අප ආයතනයත් එක් වුණා
- සෑම සේවක මහත්ම මහත්මියක්ම දුෂ්කර කාලපරිච්ඡේදයේදී රැකබලා ගත්තා
- කළමනාකාරිත්වය ලෙස අපට කළ හැකි හැම දෙයක්ම සිදු කළා

ලෝකයම පීඩාවට පත් කළ කොවිඩ් අභියෝග මධ්‍යයේ පත්තර මහගෙදර නව වසරේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීම අරමුණ බව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න මහතා ඊයේ (04) පැවැසීය. 

2021 වසර ආරම්භයේදීම පසුගිය වසරේ ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රකාශනවලට අමතරව 3 වන පියවර වශයෙන් තවත් අධ්‍යාපන ප්‍රකාශන 13ක් ඉංග්‍රිසි හා සිංහල මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කරන බව කියා සිටි සභාපතිවරයා හෙට (06) පෙරවරුවේ ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඒවා එළි දක්වන බවද කියා සිටියේය.

මේ කාර්යයන් ඉටුකර ගැනීම සඳහා සියලු දෙනා අත්වැල් බැඳගත යුතු වන බවත් ඒ කාර්යය සාර්ථක කර ගැනීමට වෙහෙසී කටයුතු කරන ලෙස සභාපතිවරයා ලෙක්හවුස් සියලු සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කොවිඩ් වසංගය සමඟ ගෙවුණු අවුරුද්ද කැප වී සේවය කළ සියලුම සේවක මහත්ම මහත්මීන්ට අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වයේ ස්තූතිය පුද කරන බවද කියා සිටියේය.

සභාපතිවරයා මේ බව කියා සිටියේ නව වසරේ ලෙක්හවුස් ආයතනයේ වැඩ ආරම්භ කිරීමෙනි.

එහිදි අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කියා සිටියේය.

“2019 දෙසැම්බර් 16 වැනි දින මා සභාපතිධූරය සඳහාත් තවත් අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්ද වැඩ බාරගන්නා ලදී. එම අවස්ථාව වන විට 2018 හා 2019 වසරවල ආයතනයේ ණය බර මිලියන 400කට අධික වූ අතර බැංකු වෙත ගෙවිය යුතු ණය මුදල මිලියන 600කට අධික විය. අප වැඩභාර ගැනීමෙන් පසු එම ණය බර අඩුකර ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය ආයතන වෙත, අධ්‍යක්ෂ මණ්ඩලය කළමනාකාරිත්වයද සම්බන්ධ කොටගෙන එම ආයතන වෙත ගොස් අපවෙත වෙළද හා අනෙකුත් දැන්වීම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලද අතර එම ආයතන යහපත් ලෙස ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා එකඟතාවය පලකරන ලදී.

එහෙත් 2020 මාර්තු මස මුළු ලොවටම බලපෑ කොවිඩි වසංගතය, එම මාසයේ 16 වැනි දින සිට අප රටටද බලපෑ නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශ කඩාවැටීම ආරම්භ වූ අතර දින 52ක කාලයක් මුළු දිවයිනටම නොකඩවා ඇදිරිනීතිය ක්‍රියාත්මක වූ නිසා වසර 100කට අධික මුද්‍රණ ඉතිහාසයක් ඇති ලේක්හවුස් ආයතනයේ පුවත් පත් මුද්‍රණය ප්‍රථම වතාවට සම්පූර්ණයෙන් මාසයකට වැඩි කාලයක් නතර කරන ලදි. ඊ පුවත්පත පමණක් ජනතාව අතට පත් කරන ලද නමුත් ඉන් කිසිදු ආදායමක් ආයතනය වෙත නොලැබුණි. එමගින් ආයතනයට රුපියල් මිලියන 200 ආසන්න පාඩුවක් විද දරාගැනීමට සිදුවිය. එහෙත් ආයතනයේ සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතු වැටුප් හා දීමනා වලට අමතරව මාර්තු මස ගෙවිය යුතු බෝනස් මුදලද ගෙවන ලදී. 2020 අප්‍රේල් මස සිට මේ දක්වාම අධ්‍යක්ෂ මණ්ඩලයටද කළමනාකාරීත්වයටද ගෙවිය යුතු වැටුප් හා දීමනා සියයට 50 පමණක් සීමාකොට ගෙවන ලද අතර අප්‍රේල් මස වනවිට තිබූ දැඩි ආර්ථික දුෂ්කරතාවය සැලකිල්ලට ගෙන එම මාසය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වැටුප් ලබා නොගන්නා ලදී.

2020 මැයි මස නැවතත් පුවත්පත් මුද්‍රණය ආරම්භ කරන ලද අතර බලාපොරොත්තුවූ පුවත්පත් අලෙවිය හා අනෙකුත් දැන්වීම් ලැබීම් ශීඝ්‍රයෙන් පහත වැටුණේය.

2020 මාර්තු මාසයේදී අප විසින් අධ්‍යාපන ප්‍රකාශන පියවර කිහිපයකින් මුද්‍රණය කිරීම සදහා කටයුතු කරන ලද අතර එහි පළමු පියවර වශයෙන් මුතු අහුර 1,2,3,4 ද ඉන් පසුව O/L සිසුන් සඳහා සිත්මිණ පුවත්පතද , ශිෂ්‍යත්ව සිසුන් සඳහා විදුණැන පුවත් පතද දෙමළ පෙර පාසල් සිසුන් සඳහා කුට්ටි චුට්ටි පුවත් පතද එළි දක්වන ලද අතර ඒවා ඉතාමත්ම සාර්ථක ලෙස අලෙවි වෙද්දී නැවතත් ඔක්තෝම්බර් මාසයේ සිට බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ පළාත්වල පාසල් වසා දැමීම නිසා එම අලෙවියද දැනට පහත වැටි ඇත.

එමෙන්ම අප වැඩ භාර ගැනීමෙන් පසු මේ ආයතනයේ ඉන් පෙර වසර 4ක කාලයක්ම අවධානයට ලක් නොවූ වාණිජ මුද්‍රණ කටයුතු දෙපාර්තමේන්තුවෙහි කටයුතු නැවත ආරම්භ කරන ලද අතර ඉන් ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට හැකිවිය. 2020 ජූනි මාසයේ පැවැති රාජ්‍ය පොසොන් උත්සවය සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 21 වූ අතර අප විසින් ඒ සඳහා ආයතනයෙන් කිසිම මුදලක් වැය නොකොට අනුග්‍රාහයකයන් ගෙන් රුපියල් ලක්ෂ 25 ලබාගෙන ආයතනය වෙත රුපියල් ලක්ෂ 4 ක ලාභයක්ද ලබාදෙන ලදී. එමෙන්ම ඔක්තෝබර් මාසයේදී යාපනයේදී පවත්වන ලද තිනකරන් හා වාරමන්ජරී පුවත්පත් නැවත එළිදැක්වීමද කුට්ටි චුට්ටි පුවත් පත එළිදැක්වීමේ උත්සවයට වැයවූ මුදලට වඩා වැඩි මුදලක් අනුග්‍රාහකයන් ගෙන් ලබාගෙන ආයතනයට මුදලක් ඉතිරි කර දෙන ලදී. 2020 අප්‍රේල් මාසයේ සිටම කළමනාකාරීත්වයේ වැටුප් හා දීමනා සියයට 50 ට සිමාවුවද සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතු මූලික වැටුප, ජීවන වියදම් දීමනා, අතිකාල දීමනා, ආහාර දීමනා හා අවදානම් දීමනා අපවිසින් දෙසැම්බර් මස දක්වාම ගෙවන ලදී. 2020 ඔක්තෝම්බර් මාසයේ මේ වසංගතය ඉතාමත්ම දරුණු ලෙස බස්නාහිර පළාතට තදින්මද බොහෝ ප්‍රදේශ වලටද පැතිර යෑම නිසා අප පුවත් පත් අලෙවිය හා දැන්වීම් ආදායම ශී්‍ඝ්‍ර ලෙස නැවත පහත වැටුණු අතර එම තත්වය මේ දක්වාම පවතී. තවද ඔක්තෝබර් මාසයේ සිට මේ වසංගත තත්වය බරපතළ ලෙසම සෞඛ්‍යයට තර්ජනයක් වීම නිසා ආයතන සේවකයන්ගේ පැමිණිම උපරිම වශයෙන් සීමා කර ඔවුන්ට නිවෙස්වල සිට කටයුතු කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය අයව ගෙන්වා ගැනීමටද ඔවුනට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම ආයතනයේ රදවා ගැනීමට සිදුවු සේවකයන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීමටද සියලු සේවකයන් සඳහා මාස්ක් හා විෂබීජ හරණ දියර ලබාදීමද අපවිසින් සිදුකරන ලදී. තවද එම කොවිඩ් අවදානමට ලක්වූ අප ආයතනයේ සේවක සේවිකාවන් වෙත අවශ්‍ය පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ ආයතනයේ වියදමින්ම සිදුකරන ලද අතර ඉදිරියේදී ඒ අයුරින්ම සිදුකරනු ලැබේ.

2020 අප්‍රේල් මස සිට ජූනි මාසය දක්වා සේවකයන් වෙත ගෙවිය යුතුව තිබූ ජීවන වියදම් දීමනාව ඇතුළු දැනට හිඟ දීමනා ගෙවීමට ආයතනයේ මුදල් නොමැති වීම නිසා ජනමාධ්‍ය ඇමැතිවරයා හමුවී අපවෙත නොවැම්බර් මස සිට පෙබරවාරි මාසය දක්වා මාස 4 රුපියල් මිලියන 50 බැගින් රජයේ දීමනාවත් වශයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලද අතර එතුමා විසින් ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කොට එම ඉල්ලීම කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය නොලැබුණද නැවත අප විසින් අග්‍රාමාත්‍යවරයා හමුවී කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් නැවතත් කැබිනට් පත්‍රිකාවක් මේ මස ඉදිරිපත් කර ඇති අතර එම දීමනාව ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනු ලැබේ.

එහෙත් ඉහතකී අප්‍රේල් මස සිට ජූනි මාසය දක්වා සේවකයන් වෙත ගෙවිය යුතු ජීවන වියදම් දීමනාව කෙසේ හෝ ඔවුන් වෙත ගෙවීම අත්‍යවශ්‍ය බව අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය අවධානයද එමෙන්ම ආයතනයේ වෘත්තීය සංගම් වලින්ද එකී මුදල කෙසේ හෝ ගෙවන මෙන් කරන ලද ඉල්ලීම් ද සලකා බලා එකී ජීවන වියදම් දීමනාව සදහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සේවක පාරිතෝෂික භාර අරමුදලෙන් ලබාගෙන ඔබලා වෙත මේ සතියේ සිකුරාදා වන විට ගෙවීමට කටයුතු යොදා ඇත.

එහෙත් එකී පාරිතෝෂික භාර අරමුදලින් ලබාගන්නා මුදල් රජයෙන් ප්‍රදානයන් ලැබුණු විගස නැවතත් එම අරමුදලට බැර කිරීමට අප කටයුතු කරනු ඇත. කොයි කරදර බාධක මැද්දේ වුවද සේවකයන් වෙත ගෙවීමට තිබූ සියලුම අත්‍යාවශ්‍ය ගෙවීම් මේ වන විට ගෙවීමට කටයුතු සිදුකර ඇත. අප රටේ මාධ්‍ය ආයතන ඇතුළු විවිධ ආයතන වලට සිදුවූ මරු පහරත් සමඟ බොහෝ ආයතන පවත්වා යා නොහැකි තැනට පත්වුණා. ඇතැම් ආයතන වසා දැමුවා. තවත් ආයතන ණය ගෙවා ගත නොහැකිව අසරණ භාවයට පත්වුණා ඇතැම් ආයතන සේවකයන් ඉවත් කරනු ලැබුවා. තවත් ආයතනවල සේවක අයිතීන් වැටුප් සියල්ල කපා හැරුණු ලැබුවා.බුරුතු පිටින් සේවකයන් රැකියා නොමැතිව අන්ත අසරණ තැනට පත්වුණා.එවැනි තත්වයක් තුළ කොරෝනා වසංගතයේ බලපෑම සෘජුවම එල්ලවුණු සහ එමගින් ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන් අඩාල වූ ආයතන කිහිපය අතරට අප ආයතනයත් එක් වුණා. නමුත් අප සෑම සේවක මහත්ම මහත්මියක්ම එම දුෂ්කර කාලපරිච්ජේදයේදී රැකබලා ගත්තා. සෑම සේවකයකුටම හැකි පමණින් සිය පවුල, දූ දරුවන් රැක බලාගැනීමට ධෛර්යය ලබා දුන්නා. 

අපට මේ සදහා රජයෙන් හෝ බැංකු වලින් හෝ ආධාර උපකාරයක් එම අවස්ථාවේදී ලබාගැනීමට නොහැකි වුණා. නමුත් අප ආයතනයක් විදිහට කෙසේ හෝ ඉදිරියට යෑමට අධිෂ්ඨාන කරගත්තා. කළමානාකාරීත්වය ලෙස අපට කළහැකි හැම දෙයන්ම කළා. එහිදී ඔබ සියලු දෙනා දැක්වූ ඉවසිලිවන්ත සහයෝගය අප අගය කරනවා. මෙම වසර ආරම්භයේදීම පසුගිය වසරේ සිදුකරන ලද අධ්‍යාපන ප්‍රකාශනවලට අමතරව 3 වන පියවර වශයෙන් තවත් අධ්‍යාපන ප්‍රකාශන 13ක් ඉංග්‍රිසි හා සිංහල මාධ්‍යයන් ප්‍රකාශ කිරීමට කටයුතු සිදුකොට ඇති අතර මේ මස 6 වැනි දින පෙරවරුවේ ජනමාධ්‍ය අමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ආයතන පරිශ්‍රෙය්දී ඒවා එළිදක්වනු ලැබේ. මෙම වසරේ අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ඉහත කී ණය බර අඩුකරගෙන ආයතනය වෙත ලබාගත හැකි උපරිම ආදායම් ලබා ගැනීම සදහා අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය කටයුතු කිරීමයි. එම නිසා ඔබලාගේ යහපත සදහා එම කාර්යය සාර්ථක කරගැනීම සදහා සියලුම සේවක මහත්ම මහත්මීන් ගේ සහාය මා බලාපොරොත්තුවන අතර අප අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය ගැන විශ්වාසය තබා සහාය දෙන මෙන් ඉල්ලා සිටිමි.

එමෙන්ම මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනා වෙත දන්වා සිටිනුයේ කෙතරම් ආර්ථික අපහසුකම් මැද වුවද සාමුහික ගිවිසුම් ප්‍රකාරව 2021 වසර සදහා සේවකයන් වෙත ලැබිය යුතු රුපියල්.2000 මුදල ජනවාරි මස සිට මූලික වැටුපට ලබා දෙබන ෙවයි. ගෙවීගිය වසර තුළ අප වෙත පැමිණි ඉතාමත් දුෂ්කර බාධක මැද්දේ නොසැලී එක්සත්ව හා එක් සිත්ව ආයතනයේ යහපත වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවී කටයුතු කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලයටද කළමනාකාරීත්වයටද අප වෙනුවෙන් උපරිම සහාය ලබාදුන් වෘත්තීය සමිති සභාපතිතුමන්ලා අතුළු සාමාජිකයන්ටද ජනමාධ්‍ය ඇමතිතුමා, ලේකම් තුමා හා අනෙකුත් නිලධාරන්ටද මගේ තෘතඥතාවය පුද කර සිටිමි. ර‍ෙට් වර්තමාන ජාතික ප්‍රතිපත්තිය වන ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංවර්ධන ප්‍රතිපත්තිය සාර්ථක කරගැනීම සඳහා අපගේ උපරිම සහයෝගය ලබාදෙන බව අවසාන වශයෙන් සඳහන් කරමි.

ලැබුවා වූ 2021 වසර ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.!’’

කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

පත්තර මහගෙදර අපේ රටේ ආගම භාෂාව සහ උරුමය ආරක්ෂා කිරීමට හැම විටම කැප වුණා
- මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි

සියවසකටත් අධික කාලයක් මුළුල්ලේ පත්තර මහගෙදර අප රටේ ජාතිය ආගම සංස්කෘතිය සභ්‍යත්වය භාෂාව සහ උරුමයන් වෙනුවෙන් පෙනී සිටිමින් ඒවා සංරක්ෂණය කරන්න පෝෂණය කරන්න කැප වී කටයුතු කළ බව කොළඹ සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියෝ පැවසූහ. උන් වහන්සේ මේ බව කියා සිටියේ උදා වූ 2021 වසරට ආශිර්වාද කිරමින් සෙත් පිරිත් සජ්ඣ­ායනා කිරීමෙන් අනතුරුව අනුශාසනාවක් කරමිනි.

අභාවප්‍රාප්ත ලේකහවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතා බෞද්ධ පරිසරයක හැදි වැඩෙමින් ජාතිය ආගම වෙනුවෙන් රට වෙනුවෙන් කැපවීම් කරමින් මේ ආයතනය කටයුතු කළායැයිද උන්වහන්සේ කියා සිටියහ.

එය ආරක්ෂා කරන්න පරපුරෙන් පරපුරට මේවා දායාද කරන්න අවශ්‍ය කරන සහයෝගය කැප කිරීම් පරිත්‍යාග අදත් මේ ආයතනයෙන් දැකගත හැකි වෙන බව කියා සිටි උන්වහන්සේ කොයි බාධක තිබුණත් ඒ මෙහෙවර සභාපති දයාරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සිදු කරන බවද උන්වහන්සේ පැවසූහ.

ඒ මෙහෙවර නව වර්ෂයක් ලැබූ අවස්ථාවේ බොහොම සුරක්ෂිතව සිදු කරන්න සියලු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය ආශිර්වාදය රැකවරණ උදාවේවා කියා සෙත් පතන බවද උන්වහන්සේ නව වසරට ආශීර්වාද එක් කරමින් කීහ.

දමිළ කතෝලික මෙන්ම ඉස්ලාම් පූජකවරුන්ද නව වසරට ආශිර්වාද කිරීමට ආගමික වතාවත් සිදු කළ අතර අනුශාසනාවන්ද සිදු කළහ. මහා සංඝරත්නය,අන්‍යාගමික පූජකවරුන්, ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරිත්වය හා කර්තෘවරුද මේ අවස්ථාවට එක්වූහ.