කොවිඩ් 19 වසංගතය ද සාර්ථකව පාලනය කරමින් 2020 වසරේ තුන්වැනි කාර්තුවේ දී සියයට 1.5 ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගැනීමට තම ආණ්ඩුවට හැකි වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) පැවසීය.

තවදුරටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

පසුගිය වසර ආරම්භයේදී මෙරට ආර්ථිකය සියයට 4.5 ක් ඉක්මවා යන වර්ධනයක් වාර්තා වෙයි කියා අපේක්ෂා කළ ද 2015 වසරේ සිට 2019 වසර දක්වා ඇති වූ මන්දගාමී ආර්ථික වර්ධන තත්ත්වයත් , කොවිඩ් 19 වසංගත තත්ත්වයත් යටතේ ඇති වූ බලපෑම, හේතුවෙන් තෙවැනි කාර්තුවේ සිට සියයට 1.5ක ධනාත්මක වර්ධනයක් අත් පත් කර ගැනීමට හැකිවීම සුවිශේෂි තත්ත්වයක්.

මෙම කොවිඩ් 19 තත්ත්වය, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු මෙතෙක් පැවති දරුණු තම ආර්ථික අවපාතයට හේතුවන බවට අපේක්ෂා කරනවා. 2020 වසරේ සමස්ත ලෝක ආර්ථිකය 4.4%කින් කඩා වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 ඔක්තෝම්බර් මස “ලෝක ආර්ථික ඉදිරි දැක්ම” මඟින් පෙන්වා දී තිබෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කෙළේ අගමැතිවරයාගෙන් විමසන ලද ප්‍රශ්න වටය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකස්වර්ණා විජේකෝන්,

සන්ධ්‍යා කරුණාරත්නමහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 

2015 වසරේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයේ අඛණ්ඩ අඩු වීමක් පෙන්වීම හේතුවෙන් ආර්ථීකයෙහි සමස්ත ඉල්ලුම ඉහළ නැංවීම තුළින් සිය ආණ්ඩුව ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා ආර්ථීක සේවා ගාස්තු, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ ණය ආපසු ගෙවීමේ අය බද්ද ඉවත් කිරීමෙන් බදු ව්‍යුහය සරල කර තිබෙනවා.

එසේම, ආර්ථිකය නගාසිටුවීම සඳහා තම ආණ්ඩුව විසින් 2019 වසරේ අග භාගයේදී සහ 2020 වසර ආරම්භයේදී සරල, විනිවිදභාවයකින් යුතු සහ කාර්යක්ෂම බදු පද්ධතියක් රටට හඳුන්වා දී තිබෙනවා.

ඒ සඳහා පුද්ගල සහ සංස්ථාපිත ආදායම් බදු ව්‍යුහයන් සංශෝධනය කර ඇති බවද එකතු කළ අගය මත (වැට්) බදු අනුපාතිකය 15% සිට 8% දක්වා පහත දැමූවා.

2020 මාර්තු මස ඇතිවූ කොවිඩ් 19 වසංගතය හමුවේ බලපෑමට ලක් වූ ජීවනෝපාය හා ව්‍යාපාර සඳහා සහාය දෙමින් ඒවා අඛණ්ඩව පවත්වා ගැනීමට මෙන්ම සැපයුම් ජාල ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගැනීම තහවුරු කරමින් වෛද්‍ය හා සෞඛ්‍ය අංශ ආවරණය වන පරිදි බහුවිධ ප්‍රවේශයකින් යුක්තව ඒ සඳහා පූර්ව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙවැනි බහුවිධ හේතු නිසා රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් 2020 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලපරිච්ඡේදය තුළදී මිශ්‍ර කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබෙනවා.

එමෙන්ම, 2019 දෙසැම්බර් 20 සිට 2020 සැප්තැම්බර් දක්වා කාලය තුළ ආදායම් වියදම් ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර වල ප්‍රතිපත්ති හා උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමටත්, තාක්ෂණික උපකරණ හා විශේෂිත අවශ්‍යතාවයන් මත පමණක් විදේශ ණය ලබා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කරමින් මෙම අයවැය හිඟය මූලිකව දේශීය වශයෙන් සිදු කරනවා.