2014 වසරේදී රුපියල් මිලියන 847කට අධික ලාභයක් ලැබූ ස්වාධීන රූපවාහිනි ආයතනය පසුගිය රජය යටතේ 2016 වසර වනවිට පාඩු ලබන ආයතනයක් බවට පත්වූ බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

විශාල මුදලක් සහිත ස්ථාවර තැන්පතු පවා ස්වාධීන රූපවාහිනි ආයතනය සතුව තිබූ බවත් එම සියල්ල පසුගිය වසර පහ තුළ විනාශ කිරීමට කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ 2010 වසරේ සමස්ත ලාභය මිලියන 495.32ක් වූ බවයි. එමෙන්ම 2011 වසරේදී සමස්ත ලාභය 682ක් වූ අතර 2012 වසරේ ලාභය මිලියන 789ක් බවද සඳහන් කළේය. එමෙන් 2014 වසරේදී එහි ලාභය මිලියන 847.224ක් වූ අතර 2015දී ලාභය මිලියන 638ක් වූ අතර 2016 සිට පාඩුව මිලියන 69ක් වී ඇති බවයි. 2017 පාඩුව මිලියන 287.25ක්ද 2018 වසරේ පාඩුව මිලියන 622ක් සහ 2019 වසරේ සමස්ත පාඩුව මිලියන 597ක් ලෙසද සිදුවී ඇති බව ඇමැතිවරයා පැවසීය. 2020 වසරේ පාඩුව මිලියන 320කි.

 
 

2015 සිට මේ දක්වා ස්වාධීන රූපවාහිනි සේවය සඳහා සේවක සංඛ්‍යාව 139 දෙනකු බඳවාගෙන ඇති බවත් ඔවුන්ගේ නම්, සභාගත කරන බවද ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම ස්වාධීන රූපවාහිනි සේවයේ සේවයේ යෙදී සිටියදී විවිධ අක්‍රමිකතා සඳහා චෝදනාවන්ට ලක්වූවන්ට රටේ පවතින නීතිය අනුව නීත්‍යනුකූලව කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

ස්වාධීන රූපවාහිනි සේවය 2015 අග වන විට මිලියන 800ක ලාභයක් ලැබූ ආයතනයක්වූ අතර එහි ස්ථිර තැන්පතු බිලියන 2.7ක් තිබූ බවත් සඳහන් කළ ඇමැතිවරයා මිලියන 800ක වියදමින් මැදිරි සංකීර්ණ 02ක් ඉදිකර ඇති අතර 2014 අග වන විට ලක්ෂයකට ආසන්න පාරිතෝෂික දීමනාවන් 694 දෙනකුට ලබාදීමට හැකිවූ බවද සඳහන් කළේය. මේ වන විට ස්වාධීන රූපවාහිනි සේවයේ ණය ප්‍රමාණය පමණක් මිලියනය 500ක් වේ. පසුගිය අවුරුදු 05 තුළම එහි කටයුතු පවත්වා ගැනීමට භාණ්ඩාගාරයෙන් මුදල් ගැනීමට සිදුව තිබේ. එම කාලය තුළ උපදේශකවරුන් 13 දෙනකු හා සභාපතිවරු 07 දෙනකු පත්කොට ඇති බවද ඇමැතිවරයා පැවසීය.