2021 අයවැය යෝජනාවෙන් අපි විශාල මුදලක් රටේ දේශීය කර්මාන්ත සංවර්ධනයට වෙන් කරලා තිබෙනවා. මේ අයවැයෙන් පොදු ජනතාවට මොනවත් නෑ කියලා අපේ විවේචකයෝ බොරු චෝදනා කළා. නමුත් මතක තියාගන්න අපි කොයි වෙලාවෙවත් නිකන් සල්ලි බෙදන ව්‍යාපෘති පටන් ගත්තේ නැහැ. ඡන්ද බලාගෙන හදපු අකුරක්, කොමාවක් මේ අයවැයේ නැහැ. අපි ඒ ප්‍රෝඩාව ජනතාවට කරන්නේ නෑ කියලා හැමදාම කියලා තියෙනවා. මේ අයවැය වෙන් වෙන්නේ ගමේ ගොවියා, ධීවරයා, කර්මාන්තකරුවා ගොඩනඟන්න. ඒ නිසා මේ අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න විදේශීය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ. විදේශීය උපදේශකයෝ අපිට අවශ්‍ය නැහැ. විදේශීය මූල්‍ය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න ඉන්නේ අපේම රජයේ නිලධාරීන්. මේ අයවැය යෝජනා පොළොවට ගෙනියන්න ඉන්නේ ඔබ.

මේක අමාරු වැඩක්. මේ අමාරු වැඩේ කරන්න වෙන්නේ ඔබට. ඔබ තමයි මෙතෙක් එය කළේ. ඒ අපේ රටේ ගමේ ජනතාවත් එක්ක. ඒ ජනතාව ව්‍යවසායකත්ව දැනුම ලබපු, විශාල පුහුණුවක් ලබපු, ආයතනවල වැඩ කරලා හුරුව තියෙන අය නොවෙයි. ඒ අයට උදව් කරන්න ඔබට සිදු වෙනවා. නිලධාරීන් සහ ජනතාව අතර තියෙන පරතරය අවම කරගන්න වෙනවා. රජයේ නිලධාරීන් වන ඔබත් ආණ්ඩුවේ අදහස තේරුම් ගන්න ඕන. 'ගම සමඟ පිළිසඳරක්' වැඩසටහන කරගෙන යනකොට අපිට තේරෙනවා ජනතාව ඉල්ලන දේ. පොතේ තියෙන දේවලුයි, පරිපාලන රෙගුලාසිවල මුදල් රෙගුලාසිවල තියෙන දේවලුයි ජනතාව ඉල්ලන දේවලුයි අතර විශාල පරතරයක් තිබෙනවා. ඒවා ජනතාවගේ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයට හසුරුවාගෙන වැඩ කරන අභියෝගය තමයි ඔබට තිබෙන්නේ. දැනට පවතින නීති හා රෙගුලාසි බොහෝමයක් යල්පැන ගිහින්.

බොහොම දෙනෙක් හිතනවා අපි රූලෙන් පිට, නීතියෙන් පිට වැඩ කළොත් අමාරුවේ වැටෙනවා කියලා. යහපාලන ආණ්ඩුව මේ රටට කළ ලොකුම ද්‍රෝහිකම තමයි මේ රටේ රජයේ නිලධාරීන් ජනතාවට සේවය කරන නිසා බන්ධනාගාර ගත කරපු එක. මට මතකයි ජාතික ආපදා අවස්ථාවක ගංවතුර ආධාර බෙදුවා කියලා හිටපු හමුදාපතිවරයා එෆ්. සී. අයි. ඩී. එකට ගෙනල්ලා ප්‍රශ්න කළා. සිල් රෙදි බෙදා දුන්නා කියලා ජනාධිපති ලේකම්වත් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටවත් බන්ධනාගාර ගත කළා. අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් ඔබ තේරුම් ගන්න සද්භාවයෙන් ක්‍රියා කරපු කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ආරක්ෂාව අපි ලබාදෙන බවත්. සිල් රෙදි නඩුවෙන් නිදහස් වුණ ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්වරයා ජනතාවට කිව්වේ මොකක්ද? සද්භාවයෙන් ජනතාවට සේවය කරන කිසිම වෙලාවක වරදින්නේ නැහැ කියන එක එතුමා ප්‍රකාශ කළා. ඒ නිසා පවතින නීති රීතිවලින් ඔබ්බට ගිහිල්ලා මේ මුදල් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පරිහරණය කරන විදිහ ගැන, පළපුරුද්දක් තියෙන ඔබ දන්නවා ඇති.

අමාත්‍යංශවල ඇමැතිවරයාත්, ලේකම්වරුත්, නිලධාරිනුත් අතර හොඳ සම්බන්ධයක් තියාගන්න ඕන. අපි විශාල තරුණ මන්ත්‍රීවරු පිරිසකට අවස්ථාව ලබාදීලා තිබෙනවා. රාජ්‍ය ඇමතිවරුන් වශයෙන් කටයුතු කරන්න. අපේ ඇමැතිවරු වැඩ කරන විට අමාත්‍යංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුත් එක්ක සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඕන. මේ අය ජනතාවගෙන් වගේම අමාත්‍යංශ නිලධාරීන්ගෙනුත් ඉගෙන ගන්න ඕන.

මට මතකයි 1978 ළාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් තේරුණ වෙලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ සංවර්ධන කමිටුවේ නියෝජිතයා හැටියට මාව යවනකොට කරපු දේ. එදා එතුමිය දුරකථනය අරගෙන හම්බන්තොට දිසාපතිවරයාට කතා කරලා කිව්වා මහින්දව එවනවා, අපේ ඉන්න ළාබාලතම මන්ත්‍රීවරයා, එතුමා බලාගෙන එතුමා එක්ක වැඩ කරන්න කියලා. ළාබාලතම මන්ත්‍රීවරයා වුණාට, පාර්ලිමේන්තුව නියෝජනය කරාට සිරිමාවෝ මැතිනිය කිව්වේ නිලධාරීන්ගෙන් ඉගෙන ගන්න කියලා. මම මේ තරුණ මන්ත්‍රීවරුන්ටත් ඇමැතිවරු වෙච්ච තරුණ මන්ත්‍රීවරුන්ටත් කියන්නේ ඒ කාරණයයි. ඒ වගේම අපි ආණ්ඩුවක් කරගෙන යන විට රජයේ නිලධාරීන්ම පමණක් නොවෙයි විශේෂඥ දැනුම තියෙන, කාර්යක්ෂමතාව තියෙන, තරුණකම තියෙන නොයෙක් පාර්ශ්ව සම්බන්ධ කරගන්න ඕන. අපි කවුරුත් සාමූහිකව වැඩකරන්න ඕන. මතක තියාගන්න ආණ්ඩු යනවා එනවා. නමුත් රාජ්‍ය පවතිනවා. ඒක තමයි සත්‍යය.

කොරෝනා වසංගතය එක්තරා ආකාරයකට රාජ්‍ය සේවයේ ශක්තිය පරීක්ෂා කළ අවස්ථාවක් බව මම කියන්න ඕන. කොරෝනා වසංගතයට මුහුණ දෙන විට අපිට සිද්ධ වුණා උපරිම වශයෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් වැඩ කරන්න. ඒ තාක්ෂණය භාවිතා කරලා ජනතාවට සේවය කරන්න. විශාලම අභියෝගය වුණේ අධ්‍යාපනයට. ගුරුවරයාට ගෙදර ඉඳන් තමන්ගේ දූ දරුවන්ට උගන්වන්න සිදු වුණා. මම කියන්න සතුටුයි මොන දුෂ්කරතාවය ආවත් මේ රටේ ගුරුවරු ඒ අභියෝගය භාරගත්තා. ගෙදර ඉඳගෙන දරුවන්ව ගෙවල්වල තියාගෙන ඉගැන්වූවා. ඒක රජයේ සේවයේ අය කරපු විශාල මෙහෙවරක්. පෞද්ගලික අංශයේ අය වගේම රජයේ සේවකයිනුත් ඔන්ලයින් ක්‍රමය යටතේ හොඳින් වැඩ කළා. අපේ රටේ රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් සිය යුතුකම නිවැරදිව ඉටුකළා.

මේකෙන් පේනවා රජයේ නිලධාරීන්ට ඕනම මොහොතක අලුත් දෙයක් වැලඳගන්න, නම්‍යශීලිව වැඩ කරන්න පුළුවන් කියලා. සමස්ත රාජ්‍ය සේවයම මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනෑ. නූතන තාක්ෂණය රජයේ ආයතනවලට වේගයෙන් අනුගත කරන්න අවශ්‍යයි. ඒක අමාත්‍යංශ ලේකම්වරුන් වන ඔබගේ වගකීමක්. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනෑ. සෑමවිටම නූතන තාක්ෂණය යොදාගෙන ජනතාව අතරට යන්න තමුන්නාන්සේලා උත්සාහ කරන්න ඕනෑ. අපිට ඕනෑ කාර්යක්ෂම රටක්. දශක ගණනාවක් මඟහැරුණු වැඩ රාශියක් අපිට තියෙනවා ඉටු කරන්න. ඔබ දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන්ම විනිසුරුවරුන් විසිදෙනෙක් පසුගියදා ජනාධිපතිතුමා පත් කළා. ඒ පත්කළේ මේ රටේ අධිකරණයේ ගොඩගැහිලා තියෙන විශාල නඩු ප්‍රමාණයක් ඉක්මනින් විසඳන්න. රටට යුක්තිය ඉටු කරන්න. ඒ යුක්තිය සියලු රාජ්‍ය ආයතනවලින් ඉටු කරන්න ඕන කියන කාරණය මම මතක් කරනවා. අපිට ඕනෑ බැනුම් අහන්නේ නැති රාජ්‍ය සේවයක්. අපිට ඕනෑ රාජ්‍ය වගේම ආණ්ඩුවත් ආණ්ඩුව වගේම රාජ්‍යයත් වගකීමක් ඇතුව ජනතාවට සේවය කරන තැනට ගේන්න. අපි බලයට පත් වුණ සෑම අවස්ථාවකම ජනතාව අපේක්ෂා කළ වගකීම් අපි ඉටුකළා. අපි යුද්ධය අවසන් කළා. ආපස්සට ගියපු ආර්ථිකය හා සංවර්ධනය ගොඩනැඟීම වෙනුවෙන් කටයුතු කළා. ඒ සෑම අවස්ථාවකදීම රාජ්‍ය සේවය අපිට උදව් කළා. ඉදිරියටත් මේ රට ගොඩනැඟීමේදී තමුන්නාන්සේලාගේ උපරිම සහය අපි බලාපොරොත්තු වෙනවා.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.