සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට අවශ්‍ය ණය පහසුකම් දීමට වහා පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ පාර්ලිමේන්තුවේදී කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මෙසේ උපදෙස් දුන්නේය.

මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ගැටලුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට පියවර ගන්නැයිද අගමැතිවරයා උපදෙස් දුන්නේය.

රටේ පවතින සහතික වී මිලට අනුව පෙබරවාරි 01 සිට මාස 06 කට යාවත්කාලීන වන ස්ථීර පාලන මිලක් ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහනදායී වශයෙන් ණය ගෙවා දැමීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ ද අවධානය යොමු කෙරිණි.

මේ අවස්ථාව සඳහා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, ෂෙහාන් සේමසිංහ, ඉන්දික අනුරුද්ධ, අජිත් නිවාඩ් කබ්රාල්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, අගමැති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරුන්, බැංකු, සතොස හා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයෝ ද එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර