ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම අද (08) දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් ගරු අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට රක්ෂණ සහතික පත් පිළිගැන්නුවේය.
 
සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000  බැඟින් රු.15000 ක උපරිමයක් සහ රෝහල්ගතව සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25000 ක උපරිමයක් දක්වා ගෙවීම මෙම රක්ෂණ ක්‍රමයට අයත්ය.
 
රුපියල් 2000 ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර, එය පුණ්‍ය කටයුත්තකදී සැදැහැවතුන්ට පූජා කිරීමේ  හැකියාව ඇත. මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේදී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අවධාරණය විය.
 
එමෙන්ම සසුනට දරුවන් පූජා කළ, නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ “ මිහිඳු නිවාස” යෝජනා ක්‍රමයට  නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ වන විටත් මුදල් වෙන් කර ඇති බව ප්‍රකාශ කළ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමියෝ  බුද්ධශාසනය වෙනුවෙන් ඉටුකරන මෙම සේවාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාට ප්‍රණාමය පුද කළහ.
 
ඉඩමක් හිමි එහෙත් නිවසක් ඉදි කර ගැනීමට නොහැකි සංඝයා වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 06 බැඟින් නිවාස 2000 ඉදි කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේවනවිටත් මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ.
 
මෙම අවස්ථාව සඳහා කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමි, නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, විද්‍යෝදය මහා පරිවේණාධිපති බලංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය ඉදුරාගානේ ධම්මරතන නාහිමි ඇතුලු මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ.
 
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරිප්පෙරුම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත ඇතුලු මහත්වරු රැසක්  ද මෙම අවස්ථාව සඳහා එක්ව
සිටියහ.