කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විකිණීමට හෝ බදු දීමට කිසිම ආකාරයකින් කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ ඊයේ (13) ප්‍රකාශ කළේය.   රට තුළ කෙරෙන ආයෝජන මඟින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිඳු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල ඉල්ලීමක් අනුව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (13) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

පසුගිය රජය නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබුණු බවත් විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමටත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමටත් ගිවිසුමට ඇතුළත් වූ බවත් පැවැසූ රාජපක්ෂ මහතා, මෙම ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු සියයට 51% අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බවත් පැවැසීය.

පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබිණ. තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, අදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි ද කීවේය.

 
 

ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බවත් නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් 66%කට ඉන්දියාව දායක වන බවත් සියයට 9 ක් බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන් බවත් හෙතෙම පැවැසීය. ශ්‍රී ලංකා රජයට සියයට 51 අයිතිය සහ ඉතිරි සියයට 49 ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ ගැන කිසි සැකයක් තබා නොගන්නැයි වෘත්තීය සමිති නියෝජිතයෝ හමුවේ කියා සිටියේය. සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි සමිති ප්‍රධානීන්ට ජනාධිපතිවරයා මෙහිදී දැන්වීය. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන්නේය.

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවට එක් වෙමින් කියා සිටියේය. පසුගිය රජය මත්තල ගුවන් තොටුපොළ සහ නොරොච්චෝලේ බලාගාරය විකිණීමට සකසා තිබූ සැලසුම් වත්මන් රජය මුළුමනින්ම නවතා දැමූ බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීහූ සහ වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.