ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව යටතේ 73වන නිදහස් දින සැමරුම 2021 පෙබරවාරි මස 04වැනි දින නිදහස් චතුරස්‍රයේදී අභිමානවත්ව පැවැත්වීමට රජය තීරණය කර ඇත. ඒ පිළිබඳ මාධ්‍ය අයතන ප්‍රධානීන් සමග රැස්වීමක් ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනානරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසුවේ සෞඛ්‍ය නීති රීතිවලට අනුගත වෙමින් ජාතියේ අභිමානවත් බව, ගාම්භීරත්වය රැකගනිමින් මෙවර ද නිදහස් දින උත්සවය පැවැත්විය යුතු බවයි.

පවතින තත්ත්වය යටතේ covid-19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නිදහස් දින සැමරුම පැවැත්වෙන බව එම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනානරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. සියලු ජාතීන් නියෝජනය කරමින් සාම්ප්‍රදායික සංස්කෘතික අංගවලට මුල්තැන දෙමින් ජාතික නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
‍මෙම සැමරුම් දින පෙළපාලිය සඳහා යුද හමුදා නිලධාරීන් 4,325ක්, නාවික හමුදා නිලධාරීන් 868ක්, ගුවන් හමුදා නිලධාරීන් 945ක්, පොලිස් නිලධාරීන් 1,382ක්, සහ සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරීන් 515ක් මෙන්ම ශිෂ්‍ය භටයින් 355 දෙනෙකු එක්වනු ඇත.

73වැනි නිදහස් දිනයට සමගාමීව දිවයින පුරා රුක්රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය ආරක්ෂක හා ස්වදේශ කටයුතු සහ ආපදා කළමනානරණ රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පැවති මෙම 73වන නිදහස් දින සැමරුම් උළෙල පිළිබඳ රැස්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) රුවන් සත්කුමාර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි විය.