කලාකීර්තී ආචාර්ය එඩ්වින් ආරියදාස ශූරීන් වෙනුවෙන් ශෝක පණිවිඩය නිකුත් කරමින්  අගමැති කියයි

“ඇවිදින පුස්තකාලය” ලෙස ලොව දැනුම ශ්‍රී ලාංකේයන්ට යාවත්කාලීන කිරීමට උරදුන් කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ නික්ම යෑම මුළු මහත් ශ්‍රී ලාංකේයන්ටම පිරිමැසිය නොහැකි පාඩුවක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු වන ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අභාවය පිළිබඳ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

අගමැතිවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතකු ලෙස ජනාදරයට පත් වූ කලාකීර්තී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැලවීමෙන් මම බලවත් සංවේගයට පත් වුණෙමි.

1922 දෙසැම්බර් 03 වන දින ගාල්ලේ, උණවටුන ප්‍රදේශයේ දී උපත ලැබූ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා මූලික අධ්‍යාපනය හැදෑරුවේ උණවටුන බොනවිස්ටා පාසලෙන් හා ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ය. පාසල් අධ්‍යාපනය හමාර කරමින් එවකට යුනිවසිටි ඔප් සිලෝන් යනුවෙන් හැඳින් වූ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ එතුමා 1945 වසරේ දී සිංහල හා ඉංග්‍රීසී භාෂා පිළිබඳ උපාධි හිමි කරගත්තේය. මහින්ද විද්‍යාලයේ හා මොරටු මහ විද්‍යාලයේ කලක් ගුරුවරයෙකු ලෙස සේවය කළ එතුමා සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ද විය.

1949 මාර්තු 8 වැනිදා මාධ්‍යවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ එතුමා දිනමිණ, ඩේලිනිවුස්, සන්ඩේ ඔබ්සවර්, සිළුමිණ හා ජනතා පුවත්පත්වල කතෘ මණ්ඩලයේ සේවය කළේය. මිහිකත, දෙසතිය සගරා සඳහා ලිපි සැපයූ එතුමා ලේක්හවුස් ආයතනයේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකි. 1978-1982 වකවානුවේ නවයුගය පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස ද කටයුතු කළ ආරියදාස මහතා එම පුවත්පත පෙර අපරදිග දැනුමෙන් පෝෂණය කළේය. චරිත හමුව, දුක දිනා ජයගත් හපන්නු, අතීතයට ලියුමක් ඔහු ආරම්භ කළ විශේෂාංග ජනාදරයට පත් විය.

 
 

ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ජනසන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පෘථුල අත්දැකීම් මෙන්ම සුවිශේෂී විෂය දැනුමක් සමාජයට දායාද කළ කෘතහස්ථ හා ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනය ඇරඹීමට පුරෝගාමී වු එඩ්වින් ආරියදාස මහතා ජන විඥාපනය ලෙස සන්නිවේදන විෂය හැඳින්වු 1960 දශකයේ එම විෂය ඉගැන්වූ මෙරට ප්‍රථම ආචාර්යවරයාය. කැලණිය, කොළඹ, ජයවර්ධනපුර හා විවෘත විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය පාඨමාලා ආරම්භ කිරීමේ පුරෝගාමියා වුයේ ද ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාය. එම විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා සැකසීමට එතුමාගෙන් ලැබුණු දායකත්වය ඉමහත්ය.

සිය අභිමානවත් වෘත්තීය ජීවිතය තුළ ආරියදාස මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ බිහිකළ සිසුන් ප්‍රමාණය අති විශාලය. ඔහු ශ්‍රී ලංකාවේ සිටි සුවිශේෂී වූ මාධ්‍ය විෂයෙහි විද්වතෙකි. එසේම ගුරුවරයෙකි. ජනමාධ්‍ය පමණක් නොව, විද්‍යාව හා පාරිසරික ක්ෂේ‍ත්‍රවලට ද වැදගත් දායකත්වයක් ලබාදුන් එතුමා ද්විභාෂා වියතෙකි. එඩ්වින් ආරියදාස මහතා ‘ලෝක ඉතිහාසය’, අමෙරිකානු ජනපති දේශන ඇතුළත් ‘විමුක්ති ප්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කළේය. එතුමා ද්විභාෂාවෙන්ම රචිත ලිපි ගණන දහස් ගණනකි.

මෙරට ප්‍රථම විදෙස් විත්ති විචාරකයා ලෙස ද ආරියදාස මහතා ඉතිහාසයට එක් වෙයි. කලාකීර්ති ඇතුළු ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබූ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි සංඛ්‍යාවකට හිමිකම් කීවේය. ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විද්වතකු වූ එතුමා, 1985 වසරේ රචනා කළ “සිනමා ලිපි” කෘතිය සිංහල සිනමා ඉතිහාසය සහ විචාරය පිළිබඳ රචනා වූ වැදගත්ම කෘතියකි. ආරියදාස මහතා අතින් මෙරට ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලියැවුණු ග්‍රන්ථ ගණනාවකි.

බටහිර රටවල ආභාෂයෙන් බිහි වු සන්නිවේදන විෂයට පාරිභාෂිත වදන් එක් කිරීමට ද එඩ්වින් ආරියදාස මහතා පුරෝගාමී විය. සිංහල භාෂාවට අන්තර්ජාලය (Internet), සමීප රූප (Closeup) මාධ්‍ය රූප (Graphics) උස්තල මුද්‍රණය (Letter Press) සමතල මුද්‍රණය (Offset Press) සහ සජීවිකරණය (Animation) යන වචන එසේ නව අරුත් දෙමින් එතුමා නිර්මාණය කළ වදන්ය. දශක හතක කාලයක් ජනමාධ්‍ය වෘත්තියේ නියැලීමට තරම් ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා නිරෝගිමත් වූවා සේම, එතරම් කාලයක් මෙරට ජනමාධ්‍ය හදාරන්නන්ට හා වෘත්තිකයන්ට එතුමාගේ සේවය ලබන්නට වාසනාව උදාවිය.

පුවත්පත් කලාවේදියකු ලෙස සිය ජනමාධ්‍ය මෙහෙවර ආරම්භ කළ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා, රූපවාහිනිය සහ ගුවන් විදුලිය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද සිය දැනුමබෙදා දීමේ ජනතා මෙහෙවරහි නිරත වූයේය. “ඇවිදින පුස්තකාලය” ලෙස ලොව දැනුම ශ්‍රී ලාංකේයන්ට යාවත්කාලීන කරන්නට උරදුන් කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ නික්ම යාම මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ම පිරිමැසිය නොහැකි පාඩුවකි.

වසර 98ක කාලයක් ආයු වළඳා, අභාවප්‍රාප්ත වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාට නිවන් සුව අත්වේවා! යි මම ප්‍රාර්ථනා කරමි. සංවේගයට පත් එතුමාගේ පවුලේ සැමටත්, ඥාතී හිතමිත්‍රාදීන්ටත්, ප්‍රදේශවාසී සැමටත්, රටවැසියාටත් මාගේ බලවත් සංවේගය මෙයින් පළ කර සිටිමි.