ජනතාව හමුවේ පොරොන්දු වූ ආකාරයටම නව ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ජනතා පරමාධිපත්‍ය, ජාතික ආරක්ෂාව, සියලු දෙනා ආවරණය වන ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය, රටේ ස්වෛරීභාවය ආරක්ෂා වන ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ(25) එක්වෙමිනි.

යටත් විජිත සමයේ ඉදිකෙරුණු අලුත්කඩේ අධිකරණ ගොඩනැගිල්ල වෙනුවට අලුතෙන් ඉදිකෙරෙන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය අක්කර 06ක බිමක ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 1650කි.

ඉතිහාසයේ තමන් බලයට පත්වූ සෑම අවස්ථාවකම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නට කටයුතු කළ බව මෙහිදී සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කිසිවිටෙකත් පෞද්ගලික මැදිහත්වීම්වලින් නීතිය නැමීමට තමන් කටයුතු නොකළ බවත් පැවැසීය.

අධිකරණයේ නඩු ප්‍රමාදවීම, නව අධිකරණ ශාලා ඉදිකිරීම, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇති බවත් අගමැති රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.