අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා වසර 73ක් ගෙවෙන දිනයේ ශ්‍රී ලාංකේය අභිමානය ලොවට කියමින් ජාතික නිදහස් දින සැමරුම් උලෙළ ‘ඉසුරුමත් හෙට දවසක් සෞභාග්‍යවත් මව්බිමක්’ තේමාව ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (04) උදෑසන අභිමානවත් ආකාරයෙන් පැවැත්විණි.
ලොවම වෙලාගෙන පවතින කොවිඩ් උවදුර හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශකයන්ට අනුකූලව අවම ආරාධිතයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට පියවර ගෙන තිබුණු නමුත් නිදහස් දින උලෙළේ ප්‍රෞඪත්වයට කිසිදු බලපෑමක් ඉන් එල්ලවී තිබුණේ නැත. උලෙළ ආරම්භ කෙරුණේ ඊයේ උදෑසන 7.30ටය. ප්‍රධාන ආරාධිතයන්ගේ පැමිණීම සනිටුහන් කරමින් පළමුව පැමිණියේ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාය. අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා පැමිණියේය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පැමිණියේ ඉන් අනතුරුවය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනතුරුව පැමිණියේය.
ආරක්ෂක ලේකම්, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැමිණියේ උදෑසන 8.00ටය. අනතුරුව පැමිණියේ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතාය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ පැමිණීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සපැමිණියේය. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මහතා පැමිණියේ අනතුරුවය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අනතුරුව පැමිණියේය.
වාරිමාර්ග ඇමැති සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා උලෙළට සහභාගී වීමට පැමිණියේ උදෑසන 8.07ටය. අනතුරුව නිදහස් උලෙළට පැමිණියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. සිය භාර්යාව වන ජලනි ප්‍රේමදාස මහත්මියද සමඟ පැමිණි ප්‍රේමදාස මහතා පිළිගනු ලැබුවේ ඇමැති චමල් රාජපක්ෂ මහතා විසිනි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැමිණියේ සිය භාර්යාවද සමඟිනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සව භූමියට පැමිණියේ උදෑසන 8.09 වන විටය.
ජාතියට නිදහසේ හුස්ම ගැනීමට ඉඩ හසර විවර කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය උත්සව භූමියට ආවේ පෙර ගමන් රථ සහ පොලිස් යතුරු පැදි පිරිවරාගෙනය. අග්‍රාමාත්‍යවරයා සහ භාර්යාව පිළිගනු ලැබුවේ ඇමැති චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකේය අභිමානය විදහා පාමින් ජාතික ධජය ගුවනට එසවීමෙන් අනතුරුව පාසල් සිසු සිසුවියන් 25 දෙනකු ජාතික ගීය ගායනා කළෝය. ජය මංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගායනයට එක්ව සිටි සිසුවියන් සංඛ්‍යාව 15කි. මාතෘ භූමියේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් දිවි දුන් වීරෝදාර රණවිරුවන් සමරනු වස් මිනිත්තු දෙකක නිහඬතාවක් සුරකිනු ලැබිණි. අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවුක හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන්ගෙන් සමන්විත ජනාධිපති සම්මාන මුරය ආරම්භ කෙරිණි. ජනාධිපති රාජපක්ෂ මහතා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් අහසට එල්ල කෙරුණේ අනතුරුවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් දිනය දා ජාතිය ඇමතීමට එක් වූයේ උදෑසන 8.46ටය. සේවා මුක්ත භටයන් සහ ආබාධිත රණවිරුවන් පෙළපාළියේ ගමන් ගනිද්දී කවුරුත් අසුන්වලින් නැඟිට අත්පොලසන් දෙමින් සිය ගරු බුහුමන් පුද කළහ. පෙළපාළිය අවසානයේ සංස්කෘතික සංදර්ශනයක්ද විය.
මහා සංඝරත්නය ප්රමුඛ සර්වාගමික පූජ්‍ය පක්ෂය සමඟ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, විදෙස් තානාපති නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ප්රමුඛ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.