සිලෝන් කැච් (පුද්) සමාගමේ නව මත්ස්‍ය  නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (11) දංකොටුවේ දී විවෘත විය.
 
මෙම සමාගම අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, චීනය, තායිලන්තය සහ තායිවානය යන රටවලට සකස් කළ මුහුදු ආහාර අපනයනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයන කරුවෙකි.
 
සිලෝන් කැච් (පුද්) සමාගමේ වාර්ෂික අපනයන ආදායම අමරිකානු ඩොලර් මිලියන 12 කි. නව නිෂ්පාදනාගාරය විවෘත කිරීමත් සමඟ වාර්ෂිකව ආමෙරිකානු ඩොලර් මිලියන  15ක අදායමක් අපේක්ෂිත ය.
 
කාර්ය මණ්ඩලයේ150 ක් සහ 1500 කට වැඩි ධීවර ප්‍රජාවක් නියෝජනය වන පවුල් සඳහා මෙමඟින් සෙත සැලසෙයි.
 
නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමෙන් පසු ඉදිරි වසර 3 තුළ අපනයන ඉලක්කය පවතින සීමාව මෙන් 3 ගුණයකින් ඉහළ දැමීමට නියමිතය.
 
කළමනාකාර අධ්‍යක්ෂ  ඉන්දික එල්ලාවල සහ ශ්‍රීජිත් ජයතුංග මහත්වරුන්ගේ  කළමනාකාරීත්වය යටතේ 2016 ජුනි 15 දා මෙම සමාගමේ කටයුතු ආරම්භ වී තිබේ.
 
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත, ලොහාන් රත්වත්තේ මහත්වරු ඇතුළු සිලෝන් කැච් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සේවකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.