ගැමියාගෙන් පරිසරයට හානියක් නැහැ.

“ගම ලස්සනයි. එසේම ගමේ ජිවිතයත් ලස්සන විය යුතුයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ග්‍රාමීය පරිසරයට, ගැමියාගෙන් හානියක් නැති බවත්,  ගමේ පරිසරය මෙතෙක් රැක ගත්තේ ගැමියා බවත් එතුමා කියා සිටී. මුතුන් මිත්තන් කල සිට පාරම්පරිකව කරගෙන එන වගා වැඩ පරිසරයට හානියක් සේ තමා නොදකින බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

අද (13) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ පැවති  “ගම සමග පිළිසඳර”  10 වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

ජන හමුවට සහභාගීවීමට කයිකාවල කණිෂ්ඨ විද්‍යාලයට ගිය ජනාධිපතිතුමා විද්‍යාලයේ සිසුන්, ගුරුවරු සහ දෙමාපියන් සමග සුහද කතා බහක නිරත වෙමින් විද්‍යාලයේ  අඩු පාඩු විමසා බැලිය.

SLT මොබිටෙල් ආයතනය කයිකාවල කණිෂ්ඨ විද්‍යාලය සඳහා පරිත්‍යාග කළ සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, මීමුරේ ප්‍රාථමික විද්‍යාලයට ලබා දුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය, අධිවේගි අන්තර්ජාල පහසුකම් සහ ඩයලොග් ආයතනයෙන් පිරිනැමූ රූපවාහිනි යන්ත්‍ර හා සබඳතාව විදුහල්පතිවරයාට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ලංකා ගමනා ගමන මණ්ඩලය මීමුරේ, උඩුදුම්බර මාර්ගයේ ධාවනය සඳහා අලුතෙන් එක් කළ බස් රථයේ මංගල චාරිකාව ද ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු විය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

මහනුවර මහියංගන මාර්ගයේ කි.මි 40ක් දුරින් හුන්නස්ගිරියටත්, එතැන් සිට කි.මි 35ක දුරකින් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් මායිම්ව මහනුවර දිස්ත්‍රික්කයේ එක් කෙළවරක මී මුරේ ගම්මානය පිහිටා තිබේ.

ජනප්‍රවාදවල සඳහන් පරිදි මී මුරේ ගම්මානය රාවණා රජුගේ වාසස්ථානයක්ව තිබී ඇත. මහ රාවණා රජු සමයේ සඳහන් මහා පබ්බත නම් ග්‍රාමය වර්තමානයේ මී මුරේ බවත් ඇතැම්හු විශ්වාස කරති.  රාවණා රජු සීතා දේවිය පැහැරගෙන දඬුමොණරයෙන්, ලකේගලට ගොඩබැස ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.