අගමැතිගෙන් උපදෙස්

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ අගමැතිවරයා මේ බව අවධාරණය කළේය. ඒ අනුව අදාළ සංශෝධනය සඳහා දැනටමත් සූදානම් බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහි දී සහතික විය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව සමඟ පවතින ගැටලු සහ කසළ කළමනාකරණය හා විගණනයට අවශ්‍ය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින් මේ හමුවේ දී අගමැතිවරයාට කරුණු ඉදිරිපත් කළේය. කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතනවල අදායම ශීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, මේ ආයතනවල පවතින සේවක හිඟය අර්බුද රැසකට මුල් වී ඇති බවත් මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන් අතර රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ ඔස්සේ ඊට අදාළ බඳවා ගැනීම් සිදුකළ හැකි බවත්, බලය ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ ජනතා පොරොන්දු ඉටුකිරීම එම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව මාර්තු 01 වැනිදා සිට කිසියම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අදාළ නිල හමුවීම් සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයන් සම්බන්ධ කරගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.කේ රණවීර මහතා පැවැසීය. පළාත් පාලන ආයතනවල පවතින තක්සේරු නිලධාරින්ගේ හිඟය පියවීමට පියවර ගන්නැයි අගමැතිවරයා ඒ මොහොතේම අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඒ අනුව අලුතින් බඳවා ගන්නා තක්සේරු නිලධාරින් 263 දෙනාගෙන් මේ හිඟය පියවීමට කටයුතු කරන බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු පී.පී.ඩී.එස් මුතුකුමාරණ මහත්මිය පැවසුවාය.