ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය එළිදැක්වීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යයේ දැක්ම තුළ අන්තර්ගත රජයේ ප්‍රතිපත්ති මඟින් අත්පත් කරගැනීමට අපේක්ෂිත සංවර්ධන උපාය මාර්ග හා ඒවායේ සැබෑ ප්‍රගතිය නිවැරදිව ජනතාව වෙත ගෙනයාම මෙම ඒකකය පිහිටුවීමෙන් බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා සඳහන් කළේය.

මෙරට තුළ සිදු වන සංවර්ධන වැඩපිළිවෙළවල් පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස්කර ගැනීමට අවශ්‍ය වන බවත්, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය මඟින් කිසිඳු මාධ්‍ය සීමාවන් පැනවීමක් හෝ මර්දනයක් සිදු නොකෙරෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මහතා එහිදී ප්‍රකාශ කර සිටියේ ය.

මෙරට තුළ සිදුකෙරෙන යම් යම් සංවර්ධන කාර්යයන් සම්බන්ධයෙන් එල්ල වන විවේචන භාර ගත යුතු බවත් ඒවා නිකරුණේ බැහැර කිරීම නොව එමඟින් ගත හැකි උගත හැකි දේ භාර ගැනීමට සුදානම් විය යුතු බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කරන ලදී එකී සංවර්ධනයන්, ඊට සම්බන්ධ වැඩපිළිවෙළවල් සහ ඒවාට ඇති බාධාවන්, මෙන්ම සංවර්ධන ක්‍රියාවලින් පිළිබඳව ජනතාවගේ අදහස් මෙන්ම ජනතාවගේ අදහස්වලට ගරු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ; “සංවර්ධන වැඩපිළිවෙළක් යනුවෙන් හැඳින්වුවොත් ඇතැමුන් එය ආණ්ඩුවකට ගැටගසනවා. එවැනි සංවර්ධන වැඩපිළිවෙළවල් ආණ්ඩුවකට ගැටගැසිය යුතු නැහැ. සංවර්ධනය යනු රටේ පුරවැසියාට සිදු කරන දෙයක්. එම පුරවැසියා කවර අයෙකු වුවත්, එම පුරවැසියාට සංවර්ධන වැඩපිළිවෙලවල් වලින් ලැබෙන ප්‍රතිලාභය පාට පක්ෂ වලට සම්බන්ධ කර විවේචනය කිරීම නතර කළ යුතු බවයි.

එනිසා, සංවර්ධනය කිරීම පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ඒ සම්බන්ධව ජනතාවගේ අදහස්වලට ගරු කිරීම අපේ වගකීමක්. එකී වගකීම සපුරාලීම සඳහා අපට කරුණු එක්රැස් කිරීම මෙන්ම එකී අදහස් වලට පිළිතුරු සැපයීම මෙන්ම සත්‍යතාවය පිළිබඳව තතු දැනගැනීමට අවශ්‍යයි.” එමෙන්ම, යම් අදහසක්/යෝජනාවක් දේශපාලන මතයකින් සිතා බැහැර කිරීම හා එහි ඇතුළත් වන අන්තර්ගතය හා එහි පවතින සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සොයාබැලීම මෙන්ම, හුදෙක් දේශපාලන හේතුවක් මත ද යන්න තීන්දු කර ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම මෙවැනි මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්හ කිරීමේ අවශ්‍යතාවය බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

පසුගිය යුධ සමයේ දී ද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයක් ඇති කොට මෙරට පැවති යුධ වාතාවරණය පිළිබඳව වාර්තා කිරීම මෙරටට අහිතකර වාතාවරණයන් ඇති නොවන ආකාරයෙන් සිදු කිරීමට එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි අවධියේ දී ද තමන්ට කළ හැකි වූ බවත්, එය දේශපාලන වටපිටාවක් නොව එය රටේ පුරවැසියා ආරක්ෂා කර ගැනීමේ වගකීමක් වූ බවත්, එමඟින් ජාති ආගම පාට පක්ෂ නොව සමස්ත පුරවැසියා ආරක්ෂා කර ගැනීම සිදුකළ බවත් ප්‍රකාශ කළේය. එකී අත්දැකීම් උපයෝගී කොට ගෙන ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීම මඟින් පුරවැසියා හා රාජ්‍ය පාලනය අතර පවතින සම්බන්ධකම හා තිබෙන අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට මෙවලමක් වශයෙන් උපයෝගීකොට ගත හැකි බවත් මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සෑම රටක් ම ජාතික සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකර ඇති බව ඓතිහාසිකව පෙනීයන කරුණකි. වර්තමානය වනවිට සංවර්ධනය සමස්ත ලෝකයේම  අවධානයට හසු වූ ප‍්‍රබල සමාජ සාධකයක් බවට පත්වී ඇත.  සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ආර්ථික වර්ධනය පමණක් නොව ඕනෑම රටක්, මානව වර්ගයක් ජාතියක්, භාෂාවක් හෝ ආගමක් දැනුම් ප‍්‍රමාණයක් නැති මට්ටමක සිට ඇති මට්ටමකට පත් කිරීමයි. එමෙන් ම සමස්ත සමාජයේම ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය  විප්ලවීය වෙනස’ සංවර්ධනය යනුවෙන් සඳහන් කළ හැකිය.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා පැවසුවේ, ජාතික සංවර්ධනය හා ආර්ථිකය ගොඩනැගීමේ මහා කර්තව්‍යය අභියෝගය බාරගෙන ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් කළ යුතු වගකීම හඳුනාගෙන කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බවයි. ජනමාධ්‍ය තුළ අද වැඩිදුරටත් 90% ක් අසන්නට ලැබෙන්නේ ප්‍රචණ්ඩත්වයයි. නමුත් වියයුත්තේ රටේ ප්‍රගමනය වෙනුවෙන් යමක් සටහන් කිරීමයි. මෙයට නීති- රීති අවශ්‍ය වන්නේ නැහැ. ස්වයං නියාමනයක් ඇති කරගෙන ගුණාත්මක තොරතුරු ජනගත කිරීමයි වියයුතු වන්නේ. නිවැරදි මාධ්‍ය අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබාගැනීමයි වැදගත්.

මෙම අවස්ථාවට ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මහතා ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද සහභාගී වූහ.