පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආගමික වශයෙන් බැඳුණු ඉතා ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාව සර්වකාලීන මිත්‍රත්වයකට මඟපාදා ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරය අතරතුර අරලියගහ මන්දිරයේ දී ඊයේ පස්වරුවේ පැවැති ද්විපාර්ශ්වික නියෝජිත හමුවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, පාකිස්ථාන අගමැතිවරයා හා දූත පිරිස සුහඳ හා උණුසුම් ලෙස මම පිළිගන්නවා.

පසුගිය වසරේ මහ මැතිවරණයෙන් පසු මම ශ්‍රී ලංකාවේ අගමැතිධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදේශ රාජ්‍ය නායකයා ඔබයි. මගේ ආරාධනය පිළිගනිමින් කොවිඩ්-19 අවදානම ඇතුළු විශාල අභියෝග මධ්‍යයේ වුවද, ඉතා මිත්‍රශීලීව ශ්‍රී ලංකාවට පැමිණියා. ඔබගේ සංචාරය සංකේතවත් කරන්නේ ඔබ සහ ඔබේ රජය මගේ රටේ ජනතාව කෙරෙහි දක්වන දැඩි ආදරයයි.

වසර ගණනාවක දේශපාලන ක්‍රියාකාරිත්වය තුළින් පොදු ජනතාව බලය ලබා දී ඔබව ඉහළට ඔසවා තැබූ ආකාරය මම නිරීක්ෂණය කළා. පීඩිතයන් සහ අගහිඟකම් ඇති අය කෙරෙහි ඔබ තුළ ඇති සැබෑ ආදරය එමඟින් පෙන්නුම් කරනවා. බිම් මට්ටමේ සහ අඩු වරප්‍රසාද සහිත ජනතාව සවිබල ගැන්වීම උදෙසා වූ ඔබේ ජනතා කේන්ද්‍රීය පාලනය අපගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා එකිනෙක බැඳී පවතිනවා.

එළැඹෙන මැතිවරණය සාර්ථකත්වය වෙනුවෙන් ඔබටත් ඔබේ ආණ්ඩුවටත් මාගේ සුභාශිංසනය පිරිනමනවා. අපගේ රටවල් දෙක අතර පවතින්නේ ඓතිහාසික සබඳතාවක්. සංස්කෘතික හා ආගමික වශයෙන් බැඳුණු ඉතා ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාවය සර්වකාලීන මිත්‍රත්වයකට මඟ පාදා තිඅබෙනවා. අපගේ රටවල් දෙක අතර පවතින සබඳතාව මේ වනවිට බොහෝ ක්ෂේත්‍ර දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. නමුත් අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අප විශාල පරිශ්‍රමයක් දැරිය යුතුයි.