පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඇතුළු එරට දූත පිරිස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කටුනායන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී ඊයේ (23) පස්වරුවේ මහත් හරසරින් පිළිගත්තේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණි අතර පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට සමත් වූ ඉම්රාන් ඛාන් මහතා එරට 22වැනි අගමැතිවරයා වන්නේය. අග්‍රාමාත්‍යධූරයට පත්වීමෙන් පසු ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන පළමු අවස්ථාව මෙන්ම 2021 වසරේ ඔහුගේ පළමු විදෙස් නිල සංචාරය ද මෙය වේ.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් හමුදා වෙඩිමුර 19ක් සහ හමුදා සම්මාන ආචාර පෙළපාලියක් ද පැවැත්වූ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් ඊට එක්වූහ. අනතුරුව පාකිස්තානු අගමැතිවරයා ගුවන්තොටුපළෙහි වූ සුවිශේෂී අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි (Golden Book) සටහනක් තැබුවේය.