ස්වකීය ප්‍රථම ශ්‍රී ලංකා නිල සංචාරය සාර්ථක ලෙස අවසන් කළ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස ඊයේ (24) පස්වරුවේ යළි සියරට බලා නික්ම ගියහ.

ශ්‍රී ලංකා - පාකිස්තාන දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරකයක් සඳහා පාකිස්තාන අගමැතිවරයා ඇතුළුව 40 දෙනකුගෙන් පමණ සමන්විත දූත කණ්ඩායම පෙරේදා (23) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වූ මංගල නිල සංචාරයට පාකිස්තානයේ ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර වෙළෙඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක්ද එක්ව සිටියහ.