ආරක්ෂක සහයෝගිතාවට ඩොලර් මිලියන 50ක්

ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නඟා සිටුවීම කෙරෙහි ශ්‍රී ලංකා සහ පාකිස්තාන නායකයන්ගේ විශේෂ අවධානය යොමු කෙරේ.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පෙරවරුවේ සිදු වුණු අතර දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳ දෙරටේ නායකයෝ අදහස් හුවමාරු කර ගත්හ.

පාකිස්තානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් මහතා එහිදී සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්තාන අගමැතිවරයා ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබිණි.

ජනාධිපතිවරයා සහ පාකිස්තාන අගමැතිවරයා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළ අතර කතාබහ බෙහෙවින් ඵලදායී විණැයි පාකිස්තානු නායකයා පැවසීය.

පාකිස්තානය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු බවත් දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ජනාධිපතිවරයාගේ සහ පාකිස්තාන අගමැතිවරයාගේ අවධානය යොමු කළහ.

තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයෝ අවධානය යොමු කළහ.

පාකිස්තාන විදේශ කටයුතු ඇමැති මක්දුම් ෂා මෙහෙමුඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අගමැති උපදේශක අබ්දුල් රසාක් ඩාවුඩ්, විදේශ කටයුතු පිළිබඳ අගමැති විශේෂ සහායක බුකාරි සෙයිඩ් ෂුල්ෆිකාර්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමුඩ්, ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) මොහොමඩ් සාඩ් කටක්, විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන, පරිවාර ඇමැති අලි සබ්‍රි, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තිබෙන ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ආධාරයක් දීමට පාකිස්තාන අගමැතිවරයා තීරණය කර තිබෙන අතර ඊට අමතරව ශ්‍රී ලංකා පාකිස්තාන උසස් අධ්‍යාපන සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් 100 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමීමට එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සිදු කෙරෙන ද්වීපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර ඊට අමතරව දෙරට අතර ක්‍රියාත්මක නිදහස් වෙළෙඳ ගිවිසුම තව දුරටත් පුළුල් කිරීමටද එකඟතාව පළ කර ඇත. දෙරට අතර ඇති ආගමික, සංස්කෘතික හා පුරා විද්‍යාත්මක වැදගත්කම සලකා දෙපාර්ශ්වයම සංචාරක ව්‍යාපාරය තව දුරටත් නැංවීම කෙරෙහිද අවධානය යොමු කෙරිණි.