කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරිමේ අරමුණින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි දුම්රිය මාර්ග 3 ක් ඉදිකිරීමට සැලසුම් කෙරේ. රාගම සිට කොළඹ කොටුව හරහා කිරුළපන දක්වාද මොරටුව පිළියන්දල නාරහේන්පිට හරහා කැළණිය දක්වා ද කොට්ටාව පන්නිපිටිය තලවතුගොඩ හරහා හුනුපිටිය දක්වා ද මෙම දුම්රිය මාර්ග ඉදිවනු ඇත. මේ පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදි පැවැත්වින. වඩාත් ජනාකීර්ණ නගරයක් වන මහරගම නගරය ද මෙම ව්‍යාපෘතියට ඇතුඑ කිරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බව අගමැතිතුමා එහිදි පෙන්වා දුන්නේය. සංවර්ධනය ජනතා අවශ්‍යතා වෙනුවෙන් සිදුවිය යුතුය. එසේ නොවන සංවර්ධන ව්‍යාපෘති රටට අනවශ්‍ය බව ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ අනුව කොට්ටාව හුනුපිටිය දුම්රිය මාර්ගයට මහරගම නගරය ද ඇතුලත් කල හැකි බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිහු මෙහිදී සඳහන් කළහ. මාර්ග තදබදය හේතුවෙන් 2019 වසරේදී රටට සිදුවු දෛනික ආර්ථික අලාභය රුපියල් මිලියන දහසක් ලෙසට ගණන් බලා තිබේ. ඊට එක් විසඳුමක් වශයෙන් පසුගියදා ආරම්භ කල සිටි බස් ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙම යෝජිත දුම්රිය මාර්ග ව්‍යාපෘතිය රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගිතා ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරේ. ඇමෙරිකානු ඩොලර් මිලියන පන්දහසක සෘජු විදේශ ආයෝජනයක් සහිතය. සියයට 6 ක රජයේ දායකත්වය ද මේ සඳහා ලබාදීමට යෝජිතය. මෙම දුම්රිය ව්‍යාපෘතිය මගින් දෛනිකව ඉතිරි කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 550 ක් පමණ වෙයි. මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යෝධ සංවර්ධන සැලැස්මක මුල් අදියරයි.