ප්‍රහාරය වන විට බලයේ සිටියේ  තමන් බව අද විපක්ෂයට අමතක වෙලා

එදා ආණ්ඩුවේ අය දැන්  කළු කොඩි දාන්න යනවා

කාදිනල් හිමිපාණන්ගේ වේදනාව සාධාරණයි

 

පාස්කු ඉරිදා ප්‍රහාරයට මුල යහපාලන ආණ්ඩු‍වේ අකාර්යක්ෂමතාව බවත්, වැරදිකරුවන්ට දඬුවම් දීම අපේ වගකීම බැවින් බෙදුම්වාදි හෝ ආගම්වාදි ත්‍රස්තවාදයට අපෙන් ඉඩක් නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (06) පැවසීය. පාස්කු ඉරිදා ඛේදවාචකයට හිටපු ජනපති සහ හිටපු අගමැතිවරයා පමණක් නොව පැවැති රජයම වගකිව යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙය ජාතික ප්‍රශ්නයක් වන නිසා මෙම කාරණය දේශපාලනීකරණය නොකළ යුතු බවත් පෙන්වා දුන‍්නේ ය. මෙම ප්‍රහාරයට වත්මන් රජය වගකිව යුතු බවට එල්ල කරන අභූත චෝදනාව, පදනම් විරහිත චෝදනාවක් බැවින් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව මීට වගකිව යුත්තන්ට නිසැකවම දඬුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්‍ත්‍රික්කයේ, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, වේරගල ග්‍රාම නිලධාරී වසමේ මාඳුරාගම ක්‍රීඩාපිටියේ පැවති “ගම සමඟ පිළිසඳර” 13 වැනි වැඩසටහනට සහභාගීවෙමිනි.වත්මන් රජය පාස්කු ප්‍රහාරය විකුණා බලයට පැමිණියේ නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පසුගිය සමයේ බුද්ධි අංශ නිලධාරීන්ට ව්‍යාජ නඩු පවරමින් ජාතික ආරක්ෂාව බිඳ දැමූ ඇතැම් දේශපාලන පක්ෂ කළු කොඩි දමමින් ජනතාව අතර දුර්මත පතුරවන බවත් කියා සිටියේ ය.