ශ්‍රී ලාංකේය සමාජය ස්ත්‍රීය දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භූමිකාව අතීතයේ සිට ගෞරව බුහුමනින් යුතුව අගය කළේය. යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයකි. ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇත.

කවර ප්‍රජාවක වුවද මූලික ඒකකය වන පවුල් සංස්ථාවේ පදනම සකසන්නී කාන්තාවය. සිය ජීවිත කාලය තුළ නන්විධ භූමිකා ඉටු කරන ඇය පවුල් ඒකක එක්වීමෙන් නිර්මාණය වන සමාජය එකට බැඳ තබන ශක්තිමත් හුයක් බඳුය. හැමවිටම මුදලින් ගණනය නොකළ ද ජාතික නිෂ්පාදනයට ඇගෙන් ලැබෙන දායකත්වය නිසැකවම ඉතා ඉහළ අගයක් ගනී. ස්ත්‍රීයගේ අභිමානය, ගෞරවය සහ සතුට ආරක්ෂා කරමින් පෝෂණය කිරීම සමාජ වගකීමක් වන්නේ එබැවිනි.

වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජයීය, සංස්කෘතික ජීවිතයේ ක්ෂේත්‍ර ගණනාවක වැඩි නියෝජනය හිමි කර ගැනීමට ස්ත්‍රීහූ සමත්ව සිටිති. තවත් ක්ෂේත්‍ර රැසක ඇය පිරිමියාට අභියෝග කරමින් සිටින්නීය. මේ ජයග්‍රහණ කාන්තාවගේ බුද්ධියට, ධෛර්යයට හා කැපවීමට මෙන්ම අපේ සමාජයේ සමාජ සාධාරණත්වයට හා පරිණතභාවයට ද නිදසුනකි. දේශපාලන ක්ෂේත්‍රයේ ඇගේ සහභාගිත්වය වර්ධනය කළ යුතුව තිබේ.

” රටකි – දැයකි – ලොවකි – ඇය ” යන්න මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාව කොට ගැනීම අතිශයින් කාලෝචිතයයි හඟමි.

කාන්තාවගේ කාර්යභාරය නිවැරදිව හඳුනාගත් ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තා පරපුරේ සමාජ, ආර්ථික දායකත්වය ප්‍රවර්ධනය ප්‍රතිඥා දී ඇත. එහි සඳහන් අටවැදෑරුම් ක්‍රියාමාර්ග දැන් යථාර්ථයක් බවට පත් කෙරෙමින් තිබේ.

අන්තර්ජාතික කාන්තා දිනය සමග එක්වන අපේ කාන්තා පරපුරට මගේ ආශීර්වාදය සහ ශුභාශිංසන පිරිනමමි.

ගෝඨාභය රාජපක්ෂ

2021 මාර්තු මස 07 වන දින