ඩොලර් බිලියන 5 යි දශම 1 ක් වු මේ වසරේ අපේක්ෂිත අපනයන ආදායම් ඉලක්කය සපුරාලීමට කැපවන බවට ඇගඑම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සහතික වෙති.

ඒකාබද්ධ ඇගඑම් සංගම් සංසදයේ නියෝජිතයින් හා ජනාධිපතිතුමා අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්චාවකදී ඔවුහු මේ බව පැවසූහ. සෞඛ්‍ය නිර්දේශ හේතුවෙන් ඇගඑම් ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එල්ලවී ඇති අභියෝග පිළිබඳව එම ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ. රටේ පොදු සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් නොවන අයුරින් ඇගඑම් ක්ෂේත්‍රයට අදාල යම් යම් සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමට ඇති හැකියාව සොයා බැලිමට ද යෝජනා කෙරිණි. ආයෝජකයන්ගේ වීසා කාලසීමාව දිර්ඝ කිරීම හා වීසා ලබාදිමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව ද සාකච්ඡා වී තිබේ. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ දේශීය අගඑම් ක්ෂේත්‍රයේ නව පිඹිදිමක් ඇතිකිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමානයක් උපයාගත හැකි බවයි.

ගුණාත්මක හා සුරක්ෂිත රැකියා අවස්ථා උදාකිරීමෙන් ක්ෂේත්‍රයට තරුණ තරුණියන් ආකර්ශනය කරගත හැකි බව ද එතුමා එහිදී පෙන්වා දුන්නේය. ඇගඑම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණදී තිබෙන අභියෝග රජය හඳුනාගෙන ඇති බව පැවසු රාජපක්ෂ මැතිතුමා එහි ඵලදාව සහ ගුණාත්මක බව නැංවීමට පුර්ණ අනුග්‍රහය ලබාදීමට සුදානම් බව සඳහන් කලේය. ඒ සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියා කෙරේ.