2021 වසරේ පළමු වසරට ඇතුළත් වූ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ "සිසු දරු යාත්‍රා" ව්‍යාපෘතිය මගේ ප්‍රධානත්වයෙන් අද (18) අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

මව්බිමේ අනාගත පරපුරෙහි නැණ පහන් දැල්වීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමාජ සත්කාරයක් ලෙස සිසු දරු යාත්‍රා වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

පළමු අදියර යටතේ ළමුන් 106 දෙනෙකුටත් සමස්ත ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 20,000කටත් මෙම ව්‍යාපෘතිය යටතේ පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට නියමිත ය.

එම උත්සව සභාව අමතා මම මෙසේ පැවසුවෙමි.

"කුඩා දරුවන් දිරිමත් කරන මෙම උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම ඉතා ම සන්තෝෂ වෙනවා. අපි දරුවන් වෙනුවෙන් කැපවුණු ආණ්ඩුවක්. අපි රටේ අනාගතය භාර ගන්න හොඳ දරුවන් නිර්මාණය කළ යුතුයි. අධ්‍යාපනය වගේ ම ගුණධර්ම ලබා දීම ගැනත් අවධානය යොමු කළ යුතුයි.

එසේ නොවුණොත් අපේ දරුවන් සමාජයේ මොන තත්ත්වයකට පත්වෙනව ද කියන්න බැහැ. දරුවන් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. පැය විසි හතර ම පොතපතට යොමු කරන්න එපා. දරුවන්ට සෙල්ලම් කරන්න නිදහස විඳින්නත් අවස්ථාවක් දෙන්න.

සෑම අංශයකින් ම දරුවන් ශක්තිමත් කරන්න. විශේෂයෙන් ක්‍රීඩාවකට දරුවන් හුරු කළ යුතුයි. ක්‍රීඩාවෙන් ජය පරාජය විඳ දරා ගැනීමට දරුවන් හුරු වෙනවා. එසේ නොවුණොත් සමාජයට ආවම ජය පරාජය දරාගන්න බැරුව විනාශවෙලා යනවා.

දරුවන් වෙනුවෙන් රෝහිත ඇමැතිතුමා ආරම්භ කළ මේ වැඩපිළිවෙළ දිවයින පුරා අනෙකුත් දිස්ත්‍රික්වලත් ක්‍රියාත්මක කරනවා නම් වටිනවා."

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන මහාචාර්ය ජී.එල්. පීරිස්, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සංජීව එදිරිමාන්න, මර්ජාන් ෆලිල්, හිටපු ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, ජපාන නියෝජ්‍ය තානාපති කිතමුරා තොෂිනිරෝ, වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු, දෙමාපියෝ සහ පාසල් දූ දරු පිරිසක් එක්ව සිටියහ.