වී කි‍ලෝ 49,200,000ක ඉලක්කයක්

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ රට පුරා ඇති පුරන් කුඹුරු අක්කර 30,000ක් යළි වගා කිරීම ලබන 25 වෙනිදා පැවැත්වෙන පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය යටතේ සිදු කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය රට පුරා ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් බව කියා සිටි ඒ මහතා මේ ක්‍රියාන්විතය සියලු දිස්ත්‍රික්කවල ස්ථාපිත කර ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන 562කම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන බවත් කියා සිටියි.

 

අක්කර 30,000ක ප්‍රමාණයක් යළි වගා කිරීමට හැකි වුණොත් වී බුසල් 2,400,000ක් ලැබෙනවා. එම පමාණය වී කිලෝ 49,200,000ක් වී අස්වැන්නට අලුතින් එක් වෙනවා. එහි මූල්‍යමය අගය ගණනය කළහොත් වී කිලෝවකට රුපියල් 50ක අගයක් යොදා මිල ගණනය කළහොත් රුපියල් 2,460,000,000.00ක් අපේ ආර්ථිකයට එක් වෙනවා යැයිද ඒ මහතා කියා සිටියේය. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 750ක් වැය කිරීමට රජයේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර අවසන් බව ද ඒ මහතා අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය. ‘අපේ මේ වසර අවසාන වන ඉලක්කය වන්නේ කුඹුරු අක්කර 50,000ක් යළි අස්වැද්දීමයි. අවම වශයෙන් අක්කර 30,000ක් තමයි අපේ ඉලක්කය වන්නේ. ඒ යටතේ තෝරාගත් කුඹුරු ඉඩම් තෝරා ගැනීම මේ වනවිට සිදු කර අවසන්. වසර 5ක් ගොවිතැන් නොකළ කුඹුරු යායන් තමයි මේ යටතේ යළි වගා කිරීම් සිදු කරනු ලබන්නේ. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 750ක් වැය කිරීමට රජයේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර අවසන්. මේ වසරේ මහකන්නය සැප්තැම්බර් මස සිට නොවැම්බර් දක්වා කාලය තුළ පුරන් කුඹුරු අස්වැද්දීම ආරම්භ කෙරෙනවා. අක්කරයකට වී බුසල් 80ක් ඒ අනුව ජාතික නිෂ්පාදනයට එක් වෙනවා.