ජනමාධ්‍යවේදීන් සඳහා වට්ටම් සහිත කාඩ්පතක් හදුන්වාදීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30) පැවැත්විණි.කොළඹ ව්‍යාපාරික සංගමය මේ සඳහා අනුග්‍රහය ලබා දෙයි. දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරිම තේමා කර ගනිමින් මෙම වැඩසටහන දියත් කරනු ලැබේ.

මෙම අවස්ථාව අමතමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, සෞභාග්‍ය දැක්ම යටතේ රජය විසින් දේශිය ව්‍යවසායකයින් නගාසිටුවිමට ක්‍රියා කරමින් සිටින බවත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේද ව්‍යවසායකයින් දිරිමත් කිරිමේ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත්ය.

එසේම ජනමාධ්‍ය වේදීන්ටත්, මේ රටේ ව්‍යවසාය සංවර්ධන කිරිම සඳහා මෙම වට්ටම් සහිත කාඩ්පත ලබා දීමෙන් දේශීය ව්‍යාවසායකයා දිරි ගැන්වීමට ඉදිරි පියවරක් වන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

වෙළෙඳ ආයතන 500කින් පමණ මෙම වට්ටම් කාඩ්පත මඟින් භාණ්ඩ ලබා ගත හැකි වන අතර මිට සමගාමිව අප්‍රේල් 01වනදා සිට 11වනදා දක්වා සියනෑ අවුරුදු මේලා 2021 වෙළඳ ප්‍රදර්ශය හා අප්‍රේල් 08වනදා සිට 10වනදා දක්වා ජාතික රූපවාහිනී පරිශ්‍රයේ දි පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශනය මඟින් ද මෙම වට්ටම් යටතේ භාණ්ඩ මිල දි ගැනිමට අවස්ථාව පවතී. මෙම කාඩ්පත වසරක වලංගු කාලයකින් සමන්විතවේ.

එසේම දැනට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින 7000ක පමණ මාධ්‍යවේදීන් සඳහා ද මෙම කාඩ්පත ලබා දීමට කටයුතු යොදා තිබේ. ජනමාධ්‍යවේදින් සඳහා පහසු ණය යෝජනා ක්‍රමයක් ග්‍රාමිය සංවර්ධන බැංකුව මඟින් ලබා දීමේ වැඩසඩහනද මෙහිදී දියත් කෙරුණි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත්.පී. විජේවිර,කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියශීල වික්‍රමනායක හා මාධ්‍ය ආයතන නියෝජනය කරමින් එහි ප්‍රධානීන් මේ අවස්ථාවට සහභාගී විය.