• වවුනියාවේ ජල ගැටළුවට වසරකදී විසඳුම් 
  • ප්‍රදේශයේ පාසල්වල ගැටළු රැසක් විසඳේ 
  • ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව අනුව රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් රැකියාවක් 
  • මා නොවෙයි වැදගත් ; මා බලයට ගෙන ආ මතවාදයයි වැදගත් ….මේ විරෝධය ඒ මතවාදයට එරෙහිව ….
  • ආනයනික පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය නිරන්තර පරීක්ෂාවට  
  • සුදු වෑන්,  කිඹුල්ලුමෝරුන් ගැන බොරු කී අය
    අද පරිසරය ගැන කතා ගොතනවා ..

“මා හැමවිටම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි වැදගත්. මා මෙතැනට ගෙන ආ මතවාදය හා බලවේගයයි වැදගත්. අප ආරක්ෂා කළ යුත්තේ එයයි. සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයේ අරමුණ මේ මතවාදය පරාජය කිරීම. මා කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

තමා බලයට එන විට බිඳවැටී තිබූ ආර්ථිකය කොවිඩ් වසංගත අර්බුදය මධ්‍යයේ වුවද, දේශීය හරිත ආර්ථිකයක් ලෙස ගොඩනගමින් තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කරයි. සිය ධූර කාලය ඇතුළත ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් තමාට දෝෂාරෝපණය කරන්නැයි එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේ අද (03) පෙරවරුවේ උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ, බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහන ආරම්භයේදී රැස්ව සිටි පිරිස අමතමිනි.

වර්තමානයේ කතා බහට ලක්ව ඇති මාතෘකා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා පරිභෝජනය සඳහා ආනයනය කෙරෙන සියලුම ද්‍රව්‍යවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බව පැවසීය. ආනයනික පොල්තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව පසුගියදා හඳුනාගැනීමට හැකි වූයේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසිනි. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමිතිය සහතික කිරීම  අදාළ ආයතනවල වගකීම බව එතුමා පෙන්වා දුන්නේය.

තමා බලයට පැමිණ ගත වූ කෙටි කාලය තුළ ඉටුකළ කාර්යභාරය පැහැදිළි කළ ජනාධිපතිතුමා පරිසරයට බලවත් හානියක් කරමින් තිබූ කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළ බව කීය. පොල්තෙල් පරිභෝජනයේ ගුණාත්මක ප්‍රතිඵල හඳුනාගෙන ෆාම් ඔයිල් ගෙන්වීම නතර කෙරිණ. රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඇති ඉඩ ප්‍රස්ථා අහුරා තිබේ. වැටලීම් මගින් මත්ද්‍රව්‍ය සේම පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

තමා බලයට පැමිණෙන විට සුදු වෑන්, කිඹුලුන්, මෝරුන් ගැන බොරු ගොතා සමාජ ගත කළ කණ්ඩායම් සිය අසත්‍ය ප්‍රචාර අසාර්ථකවීමෙන් පසු දැන් පරිසරය ගැන බොරු සහ දුර්මත සමාජගත කරමින් සිටිති. සංවිධානාත්මක දේශීය, විදේශීය බලවේග රජයට සහ තමාට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාරය පරාජය කොට තමා ජනාධිපති ධූරයට ගෙන ආ මතවාදය ආරක්ෂා කරගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

දෙමාපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේට ශාසනික මෙහෙවර ඉටුකිරීම අපහසු වී තිබේ. එබැවින් ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් රැකියාවක් දීමට තීරණය කළ බව ජනාධිපතිතුමා හෙළි කළේය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ජල හිඟය පිළිබඳව ජනතාවගෙන් පළ වූ අදහස්වලට සවන්දුන් ජනාධිපතිතුමා  දශක ගණනාවක සිට පවතින පානීය ජල ගැටළුවට වසරකදී විසඳුම් දීමට පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 92%ක් පානීය ජල හිඟයෙන් පීඩා විඳිති. කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙන ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා රුපියල් බිලියන 60ක් වෙන් කෙරේ. ප්‍රදේශයේ සියලුම නළ ලිං ප්‍රතිසංස්කරණය සහ ප්‍රජා ජල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම ක්ෂණික විසඳුම් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරු හිඟය,  ගොඩනැගිලි සහ මේස  පුටු හිඟය ඉක්මණින් විසඳුම් අවශ්‍ය ප්‍රධාන ගැටළුවක් ලෙස ජනතාව පෙන්වා දුන්හ. ඒ පිළිබඳ තොරතුරු හා සංඛ්‍යා ලේඛණ සපයාගෙන අවශ්‍යතාව අනුව මුදල් වෙන් කරන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රීකුණාමලය, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

වවුනියාව නගරයේ සිට කිලෝමීටර් 38 පමණ දුරින් නැගෙනහිරින් හා දකුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවියට හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ටත්, බටහිරින් නන්දිමිත්‍ර ගම්මානයටත් මායිම්ව වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. බෝගස්වැව 1, බෝගස්වැව 2, කම්බිලිවැව, වෙඩිවෛත්‍යකල්ලු, කෝවිල්පුලියන්කුලම සහ වෙහෙරතැන්න යන ගම්මාන ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 478කින් සමන්විත වෙඩිවෛත්තිකල්ලු ග්‍රාමයේ ජනගහණය 1520කි. වී සහ හේන් ගොවිතැන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

“ගම සමග පිළිසඳරට” සහභාගී වීමට බෝගස්වැවට පැමිණි ජනාධිපතිතුමා එතැන් සිට බෝගස්වැව මහා විද්‍යාලය දක්වා යන අතර මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව සමග කතාබහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය.

SLT මොබිටෙල් ආයතනය බෝගස්වැව මහා විද්‍යාලයට සහ නෙදුන්කර්නි මහා විද්‍යාලයට පිරිනැමූ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක් හා ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනී යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ.

“ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින්  ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. ජනාධිපතිතුමා වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මෙහෙයවන පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 03ක් ජනාධිපතිතුමා විසින් ප්‍රදානය කරනු ලැබීය.

බෝගස්වැව සහ අවට ගම්වල අතුරු මාර්ග කි.මි 37ක් සහ ප්‍රදේශයේ ප්‍රධාන පාලම් 02ක් සංවර්ධනය මාර්ග සංවර්ධන අධිකාරියට පැවරිණ.

බෝගස්වැව ගම්මානයේ වැව් 16ක්, කිවුල්ඔය ව්‍යාපෘතිය ඇතුළු වැව් 17ක් ප්‍රතිසංස්කරණයට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂාවන පරිදි ප්‍රදේශයේ විහාරස්ථාන සංවර්ධනය කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

වන අලි තර්ජනයට ගොදුරු වී සිටින ගම් ආරක්ෂා කරනු පිණිස විදුලි වැට ඉදිකිරීමට තීරණය විය.

බෝගස්වැව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හැකි පරිදි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.

ප්‍රදේශයේ රෝහලේවල වෛද්‍ය, හෙද හා සෙසු කාර්ය මණ්ඩල හිඟය පියවීමටත්, යටිතල පහසුකම් සහ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත් ජනාධිපතිතුමා නියම කළේය.

දීර්ඝ කාලයක සිට පවතින ඉඩම් අයිතිය පිළිබඳ ගැටළු කඩිනමින් නිරවුල් කොට කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට ගම්මුන්ට පහසුකම් සැලසීම දීර්ඝ  සාකච්ඡාවට ලක්විය.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය, වවුනියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කුලසිංහම් තිලීපන් යන මහත්වරු, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.