පාස්කුව ලෝකවාසී කිතුනු ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. පාස්කු මංගල්‍යයේ අර්ථය පාපයෙන් ගැලවීමයි. ජන්ම පාපයෙන් නිදහස් ව, කළ වැරදි ගැන පසුතැවිලි වෙමින් නව දිවියක් ආරම්භ කිරීම ඉන් තවදුරටත් අරුත් ගැන්වෙයි.

ලොව පුරා විසිර පැතිර සිටින කිතුනුවෝ අළු බදාදා ආරම්භ වන, දින 40 ක කාලපරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහිකරමින් ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙති. පාස්කු ඉරු දින ඔවුහු  උන්වහන්සේ උත්ථාන වීමේ විජයග්‍රාහී මොහොත මහත් ප්‍රීතියෙන් සමරති.

කිතුනු ජනතාව මේ කාලය තුළ ක්‍රිස්තූන් වහන්සේ මානව සංහතිය පාපයෙන් මුදාගැනීමේ චේතනාවෙන් කුරුසියේ දුක්විඳ ඉතා වේදනාකාරී මරණය පරාජය කර නැවත නැගිට විමුක්තිය අත් කර දීම මෙනෙහි කරති.

ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු විය. ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නැත. ඒ පාපී ක්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් තබන්නේ නැත. එසේම නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටී.

ජේසුස් වහන්සේ එදා දේශනා  කළ මානව විමුක්තිය සමාජයට ශක්තියකි. අද ලෝකය හමුවේ මුහුණ පෑමට සිදුවන බහුවිධ තාඩන පීඩන පරාජය කර නැගී සිටීමටත් ප්‍රේමයෙන් දයාවෙන් යුතු මානව හිතවාදී සමාජයක් තුළ ජීවත්වීමටත් මේ පාස්කු සමය ආශීර්වාදයක් කරගනිමු.

සැමට සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා !

                                                                                                                            2021අප්‍රේල් මස 01 වන දින

ගෝඨාභය රාජපක්ෂ