මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන් තොටුපළ වශයෙන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ගුවන් තොටුපළ ආශ්‍රිතව අපනයන සැකසුම් කළාපයක්, ගුවන් යානා නඩත්තු අලුත්වැඩියා සහ පිරිවැඩියා අංගනයක් (MRO) සහ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනාගේ මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවේ දි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරවයා මේ බව සදහන් කළේය. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සහ එහි ඉදිරි කටයුතු පිළිබදව එමගින් විමසා තිබිණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදි කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 247.7 ක මුදලක් වැය කළ බවයි. චීන එක්සින් බැංකුව සහනදායි ණය පදනම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 190 ක් ඒ සදහා ලබා දුන් බවත්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ඉතිරි මුදල් යෙදවූ බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. මත්තල ගුවන් තොටුපළ 2013 මාර්තු 18 වන දින සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව පැවසු ඇමතිවරයා 2020 නොවැම්බර් මස දක්වා රැපියල් 445,319,656 / =ක ආදායමක් උපයා තිබිණි.

විවෘත කළ දින සිට 2020 නොවැම්බර් මස දක්වා ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර ගණන 10,206 කි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ගුවන් සමාගම් 23 ක් මෙහි ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කර ඇති අතර එම කාලය තුළ දී (2020 නොවැම්බර් මස දක්වා) මගීන් 58,651 ක් පැමිණ තිබේ. ඉන් පිටව ගොස් ඇති මගීන් සංඛ්‍යාව 73,513 කි.

මත්තල ගුවන් තොටුපළ තව දුරටත් සංවර්ධනය කිරීම සදහා තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කටයුතු නැවත ආරම්භ කිරීමටත්, ගුවන් බඩු පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමටත් සැලසුම් කර තිබේ. වාණිජ ගුවන් යානා ආකර්ෂණීය කර ගැනීම සදහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන අතර MRO අංගනයක් ඇති කිරීමට ද සැලසුම් කර ඇතැයි ඇමතිවරයා මෙහි දී සදහන් කළේය. හේෂා විතානගේ මන්ත්‍රීවරයා මතු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේ පසුගිය යහපාලන ආණ්ඩුව මෙම ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම හේතුවෙන් ඊට අපකීර්තියක් සිදු වූ බවයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත්කීරීමට සැලසුම් කෙරුණ ද කොවිඩ් වසංගතය පැතිරීම හේතුවෙන් එම ඉලක්ක වලට යාම අසීරු වූ බව වැඩිදුරටත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මත්තල ගුවන් තොටුපළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විකල්ප ගුවන් තොටුපළක් ලෙස දියුණු කිරීමට සැලසුම් කර ඇති බවයි.