අගමැති මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට උපකාරී වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ (26) දින වීඩියෝ පණිවිඩයක් මගින් එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) 77 වැනි සැසිවාරය අමතමිනි.

මෙම 26 සිට 29 දක්වා පැවැත්වෙන 77 වැනි සැසියේ තේමාව වී ඇත්තේ “ආසියානු හා පැසිෆික් කලාපීය සහයෝගීතාව තුළින් පෙරටත් වඩා සවිමත්ව අර්බුධයන් තුළින් නැවත නැගී සිටිමු” යන්නයි. කොවිඩ්-19 වසංගතය පිළිබඳ සාකච්ඡාව මෙවර සැසියේ ප්‍රධාන තැනක් ගන්නා අතර දේශගුණික විපර්යාස, ණය සහන, ආයෝජන, සමාන සෞඛ්‍ය ප්‍රවේශය, තිරසාර සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාව වැනි කරුණු පිළිබඳ මෙහි දී සාකච්ඡාවට ලක් වේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සැසියේ ආරම්භයට එක්වෙමින් මෙසේ ප්‍රකාශ කළේය. .

ආයුබෝවන් !.එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 77 වැනි සැසිවාරය ඇමතීමට ලැබීම ගැන මම සතුටුවෙමි. වර්තමානයේ පවතින අභියෝග හමුවේ වුව ද මෙම සැසියට එක්වීමට ලැබීම අපට ඉතා වැදගත් වෙනවා.

වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය හා සමාජ තත්ත්වය නැවත ගොඩනැගීම සඳහා අප සැවොම උපාය මාර්ගික සැළසුම් සකස් කරමින් සිටින කාල වකවානුවක මෙවර සැසියේ තේමාව ඉතා කාලෝචිත හා වැදගත් වන බවයි මගේ විශ්වාසය. පසුගිය කාලයේ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමේ දී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගත්තා. විශේෂයෙන් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම, ඔවුන්ගේ සබඳතා ඔස්සේ නිරෝධායන ක්‍රියාවලිය පවත්වා ගෙන යෑම, නිරෝධායනය සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා අවම මරණ අනුපාතයක් පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් වසංගත තත්ත්වය පාලනය කිරීමට උපකාරි වුණා. ශ්‍රී ලාංකේයන් ලක්ෂයක් එන්නත් කිරීමට අප රජයට පසුගිය පෙබරවාරි මාසයේ දී හැකි වුණා.

මේ වනවිටත් අපගේ රජය ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි කැපවීමක නිරතව සිටිනවා. ඒ සඳහා මාගේ නායකත්වයෙන් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා වූ අන්තර් අමාත්‍ය මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබෙනවා.

2021-2030 නිපුණතා සංවර්ධන දශකය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන නිසා අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉතා වැදගත් තැනක් තරුණ තරුණියන්ට හිමිවෙනවා.

කලාපීය සබඳතා ශක්තිමත් කිරීමටත් අප උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ වගේම දකුණ- දකුණ

( “South-South”) සහයෝගිතාව වේගවත් කිරීමේ අවශ්‍යතාව අප අවධාරණය කරනවා.

ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාමාර්ග ගනිමින් ඊට ප්‍රතිචාර දැක්විය යුතුයැයි අප විශ්වාස කරනවා.

වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින කුඩා රටවල්වලට එම තත්ත්වයෙන් අත්මිදීම සඳහා එන්නත් කරන වැඩසටහනට සහය වීම, විදේශ රැකියා අවස්ථා වැඩිදියුණු කරමින් ඊට දිරිමත් කිරීම, පාරිසරික හා සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආයෝජනයන් සඳහා දිරිමත් කිරීම සහ ඔවුන්ට වෙළඳ පොළ සොයාදීම ඒ අතර ඉතා වැදගත් වෙනවා. අවසන් වශයෙන් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නැවත නැගී සිටීම වෙනුවෙන් ඉතා කාලෝචිතව මෙම සැසිය සංවිධානය කරමින් සමාජික රටවල් එක් වේදිකාවකට ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම ක්‍රියා කිරීම අප බෙහෙවින් අගය කරනවා. සැසියේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවා ! යැයි ද ප්‍රාර්ථනා කරනවා.