නවතම පුවත්

ජාත්‍යන්තර කම්කරු දින පණිවිඩය

 

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද දින සමස්ත වැඩ කරන ජනතාවට මා සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.

කම්කරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ආරම්භ වූ ලෝක කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ ශ්‍රේෂ්ඨතම දිනයයි.

පොදුවේ තම රටට පමණක් නොව සමස්ත ලෝකයේ ම අභිවෘද්ධිය උදෙසා වැඩ කරන ජනතාව කරනු ලබන කැප කිරීම සෑම කල්හිම ඉතා ප්‍රශංසනීය වේ.

වැඩබිම්වල දහඩිය වගුරවමින් සියලු දෙනාගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඔබ කරනු ලබන මෙහෙවර ඇගයීමට මම මෙය අවස්ථාවක් කරගනිමි.

අප සියලු දෙනා දන්නා පරිදි ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ ශක්තිය සහ එකමුතු බව ලොවට විදහපාන දිනයයි.

එසේ වුවද ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙවර ද පෙළපාළි හා රැස්වීම්වලින් තොරව ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට සිදුව තිබේ.

මෙවන් ව්‍යවසන අවස්ථාවක දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාව මැයි දිනය අලුත් මුහුණුවරකින් සමරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

කොතරම් දුෂ්කර තත්ත්වයන් හමුවේ වුවත් අපගේ රජයන් වැඩ කරන ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරවය ලබා දුන් බව සිහිපත් කරමි. එමෙන් ම කම්කරු අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් අප ඇපකැප වුණෙමු.

දෙදහස් විසි එක වර්ෂය සඳහා මා විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් වතු කම්කරුවන් සඳහා පොරොන්දු වු රුපියල් දහසේ දෛනික වැටුප ලබා දීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයකි.

එමෙන්ම කම්කරු ප්‍රජාවගේ සුභ සාධනය උදෙසා සේවක අර්ථසාධක අරමුදල් පනත, කාර්මික ආරවුල් පනත හා වන්දි ආඥා පනත වැනි කම්කරු පනත් ගණනාවක් යාවත්කාලීන කිරීම ඔස්සේ කම්කරු අයිතීන් සුරැකීමට අප රජයට හැකි වීම ඔබට කළ ගෞරවයක් බව සිහිපත් කරමි.

"ජනහිතකාමි වැඩබිමක්! සුරක්ෂිත දේශයක්!" තේමාවෙන් මෙවර සමරනු ලබන මැයි දිනයේ දී දේශීය ආර්ථිකය නඟ සිටුවීමට වැඩ කරන ජනතාව එකාමෙන් අත්වැල් බැඳ ගනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

කොවිඩ් වසංගතය හමුවේ වුව ද සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ඔබගේ කැපවීම අගය කරන අතර වසංගත තත්ත්වය පාලනය කිරීමට දක්වන දායකත්වය වෙනුවෙන් මාගේ ප්‍රණාමය ද පුද කරමි.

ලෝකවාසී සියලු වැඩකරන ජනතාවට ජය වේවා!

 
 
 
 
 
 
 
  

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter