වත්මන් ගෝලීය ව්‍යසනය හමුවේ  ලොව බොහෝ රටවල්  සෑම අතින්ම කඩා වැටෙන විට  වත්මන් රජය රටටත් ජනතාවටත්  සාධනීය ජයග්‍රහණ රැසක් අත්කර දී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

 එහෙත් පටු පරමාර්ථ ඔස්සේ  පසුගිය ආණ්ඩුව මෙන් අනවශ්‍ය ප්‍රචාරණයට නොයා මෙම ජයග්‍රහණ නිහඩව ලබාදීමට හැකි වූ බවද අමාත්‍යවරයා  පෙන්වා දෙයි.

 "මාධ්‍ය ලේකම් සංසදය" සමග ජනමාධ්‍ය  අමාත්‍යංශයේදී අද (04) පැවති විශේෂ සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීය.

 සෞභාග්‍යයේ දැක්මෙහි ඇතුළත් මාධ්‍ය ප්‍රතිපත්ති  හා එහි ඉදිරි කටයුතු පිළිබඳව  මෙම සාකච්ඡාව පැවැත්විණි. මේ සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත් යෝජනාවලියක් මාධ්‍ය  ලේකම් සංසදයේ සභාපති අග්‍රමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් මහතා විසින් අමාත්‍යවරයාට ලබා දෙනු ලැබීය.

 ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ යෝජනා මෙන්ම රජයේ සංවර්ධන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විණි. සෞභාග්‍යයේ දැක්ම  ඔස්සේ  මාධ්‍යවේදීන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වන කරුණු මෙන්ම ඔවුන්ට පවතින ගැටළු කෙරෙහිද  මෙහිදී අවධානය යොමුවූ අතර ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමටද සාකච්ඡාව  විය.

 ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙන්ම පටු පරමාර්ථ ඔස්සේ දිව යන පිරිස් ව්‍යාජ කරුණු ගෙන  එමින් ආණ්ඩුවට එරෙහි මතවාද ගොඩනඟන බවත්  ඒවායේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්  අමාත්‍ය රඹුක්වැල්ල  මහතා මෙහිදී කීය.

 වත්මන් ආණ්ඩුව  බලයට පත්වූ වහාම  සෑම ග්‍රාම සේවා වසමකම  සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් බිලියන 28 ක මුදලක් ලබා දුන් බවත්  ලක්ෂයේ රැකියා වැඩපිළිවෙල මෙන්ම උපාධිධාරීන්  61,000 ට රැකියා ලබාදීම මෙම අභියෝගාත්මක අවස්ථාවේදී  අතිශය  ජනතාවාදී ජයග්‍රහණ බවත්  ඒ මහතා කීය.

 ඉතාම අසීරුම අවස්ථාවක රුපියල් 5000 බැගින් පවුල් හැත්තෑ දෙලක්ෂයකට  බිලියන අසූවක් රජය ලබා දුන් බවද එය මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල- ගලගෙදර කොටසෙහි වියදමෙන් 70 % ක් වැනිය යැයිද අමාත්‍ය රඹුක්වැල්ල  මහතා පෙන්වා දුන්නේය.

 එමෙන්ම මෙවර අවුරුදු සමයේ  ලබාදුන් ජනතා සහන සදහා රුපියල් බිලියන 15 ක් වැය වී ඇතැයිද  සෑම ග්‍රාම නිලධාරී වසමකටම නිවසක් ලබා දෙමින්  නිවෙස් 14,000 ට අධික ප්‍රමාණයක් ඉදිවෙන වන්නේයැයිද විදුලිය නැමැති සෑම නිවසකටම විදුලිය ලබා දීම ක්‍රියාත්මක කැර ඇතැයිද හෙතෙම පවසයි.

 ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් යෝජිත බොහෝ වැඩපිළිවෙළ  පවතින ව්‍යසන  තත්ත්වය හමුවේ  ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවද ඉදිරියේදී  එම වැඩපිළිවෙළවල්  ක්‍රියාවට නංවන බවද ඒ මහතා පැවසීය.

 මෙරට රාජ්‍ය  රූපවාහිනී නාලිකාවන් දෙක සඳහා රුපියල්  ලක්ෂ 900 ක වියදමින් නවීන පහසුකම්වලින් සමන්විත ප්‍රවෘත්ති මැදිරි දෙකක් ස්ථාපිත කෙරෙන බවත් මේ සඳහා ජනාධිපතිතුමන්ගේ  පූර්ණ මැදිහත් වීම  මෙන්ම උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල  මහතා වැඩිදුරටත් පැවසීය.

 ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර,  රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චිමාධ්‍ය ලේකම් සංසදයේ සභාපති අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත්, ජාතික සංවර්ධන මාධ්‍ය  මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායකමාධ්‍ය ලේකම්  සංසදයේ ලේකම් නිමල් වීරතුංග , එහි කැඳවුම්කරු ප්‍රදීප් අනුර කුමාර  යන මහත්වරුන්  ඇතුළු   මාධ්‍ය ලේකම්වරු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.