සම්බුද්ධ ශාසනයට සිය දරුවන් පූජාකළ දෙමාපියන්ට උපහාරයක් වශයෙන් ඔවුන්ට නිවාස ඉදිකර දීම සදහා ආරම්භ කරනු ලබන "මිහිඳු නිවහන" ව්‍යාපෘතියේ සමාරම්භක ජාතික මහෝත්සවය අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල, සියඹලාණ්ඩුව, බුද්ධම රාජමහා විහාරස්ථානයේදී අද (07) දින පැවැති අතර, මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරමින් පූජ්‍ය බුද්ධම නන්දරත්න හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් මොනරාගල, බුද්ධම ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීම ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද දින සිදු කෙරිණි.

නිවාස විෂයභාර අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, බුද්ධශාසන අමාත්‍යාංශය හා එක්ව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් "මිහිඳු නිවහන නිවාස ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කෙරේ.

මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස 2,000 ක් ඉදිකෙරෙන අතර, ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 12,000 කි.

'මිහිඳු නිවහන' නිවාස ව්‍යාපෘතිය සදහා වන සන්නස් පත්‍රය අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නහිමියන් වෙත මෙහිදී ප්‍රදානය කරන ලදි.

මෙම ව්‍යාපෘතිය සදහා ඌව පළාත වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 50 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නහිමි, ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි ඇතුලු මහාසංඝ රත්නය මෙම උත්සවය සදහා වැඩම කළහ.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාරසිරි රත්නායක හා ජගත් පුෂ්පකුමාර, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් වර්ණකුලසූරිය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කපිල ගුණවර්ධන, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් ලලිත් අසංක, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරු සහ ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.