කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අනොන්‍ය අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (20) පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණු “ආසියාවේ අනාගතය” (The Future of Asia) පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් සඳහන් කළේය.
ආසියාව ප්‍රමුඛව ගෝලීය වශයෙන් ද ජාතීන් අතර සබඳතා පුළුල් කර ගත යුතුය. ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් තිබෙන අතර ලොව පුරා ආර්ථික ක්‍රියාකාරකම්වලට ද විනාශකාරී බලපෑමක් එල්ල කර තිබේ.
කිසිදු ජාතියක් සූදානම්ව නොසිටි, පෙර නොවූ විරු අභියෝගයක් නිර්මණය වී ඇති මෙහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක් විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
වසංගතය ජාතික සීමාවන් නොසලකයි. වෛරසය ලෝකයේ ඕනෑම තැනක පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සැලසුව හොත් වෙනත් තැන්වල එන්නත්කරණය තුළින් දැනටමත් ලබා ඇති ප්‍රගතියට තර්ජනයක් සහ මාරාන්තික බලපෑමක් එල්ල විය හැකිය. එබැවින් වේගය ඉතා වැදගත් වේ. නිෂ්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය යුතු අතර, කෙටි කාලයක් තුළ ගෝලීයව එන්නත් ලබා ගත හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කර සැපයුම් කඩිනමින් ජයගත යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් සියලු රටවල් සමග සහ විශේෂයෙන් ආසියානු කලාපයේ පාර්ශ්වකාර රටවල් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරයි. “පශ්චාත් - කොවිඩ් යුගය හැඩගැස්වීම: ගෝලිය ප්‍රතිසාධනයේ ආසියාවේ භූමිකාව” (Shaping the post – COVID era : Asia’s role in the global recovery) යන්න මෙවර එහි තේමාව වී තිබේ. ආසියානු පැසිෆික් කාලාපයේ දේශපාලන, ආර්ථික, ශාස්ත්‍රීය ගැටලු සහ ලෝකය තුළ ආසියාවේ කාර්ය භාරය පිළිබඳව නිදහස් අදහස් ඉදිරිපත් කිරීමට එකතු වන ජාත්‍යන්තර සමුළුවක් ලෙස මෙය සැලකේ.
ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටක් ලෙස චීනය සහ ඉන්දියාව සමග ඇති සබඳතාවය සමබර කරන්නේ කෙසේදැයි සැසියේ දී යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉන්දියාව හා චීනය සමග සියවස් ගණනාවක් පුරා පවතින ඓතිහාසික සබඳතාවක් පවත්වාගෙන යන බවයි. චීනය සමග අපගේ සහයෝගීතාව, සමස්ත ආර්ථික හා වාණිජ ගමන් පථයන්ට සමානව පිහිටා ඇත.
වෙනත් බොහෝ රටවල් මෙන්ම චීනය ද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජන හවුල්කරුවෙකි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සංවර්ධන අභිලාෂයන් වේගවත් කර ගැනීම සහ ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට සියලු හවුල්කාර ජාතීන්ගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. ආසියානු රටවල් හා අනෙකුත් රටවල් සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට රජය උනන්දුවෙන් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ලෝක බල එදිරිවාදිකම් සහ කලාපීය බල ගතිකතාවයන් පිළිබඳව අපි දැනුවත්භාවයෙන් පසු වෙමු. කෙසේ වෙතත් අප අනුගමනය කරන්නේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකි. ඉන්දියාව අපගේ සමීපතම අසල්වැසියා සහ දිගුකාලීන මිතුරෙකු ලෙස සලකන අතර, ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතා සහ සංවේදීතාවන් අපි තේරුම් ගනිමු. සියලු රටවල යහපත උදෙසා, ඉන්දියානු සාගරයේ සුරක්ෂිතතාවය සහතික කිරීමට ඉන්දියාව සහ සියලුම ප්‍රාදේශීය හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.