නවතම පුවත්

වෙසක් දින සුබ පැතුම් පණිවිඩය

 

සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සැමරෙන වෙසක් මංගල්‍යය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි.

බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඩ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් මෙතෙක් ඉමහත් හරසරින් සමරන ලද වෙසක් මංගල්‍යය මෙවර සැමරීමට සිදුව ඇත්තේ ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ය.

ඒ නිසා බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගික ව වටහා ගැනීමටත් බුදුන්වහන්සේ වඩාත් අගය කොට සැලකූ ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුවීමටත් මෙම කාලය වඩාත් යෝග්‍යය වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීම මෙවන් අභියෝගාත්මක කාලයකට මුහුණ දී ධර්මානුකූලව ජීවත්වීම සඳහා මනා පිටුබලයක් සපයයි.

උත්තරීතර බුදු දහම බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මිනිස් සංහතියට ම උරුම වූවකි. එහෙයින් ඉතිහාසය පුරා ජාතික හා ආගමික සහජීවනය වැඩි දියුණු වීමට බුදු දහමෙන් අප ලැබූ හික්මීම මහත් සේ බලපෑ අතර ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව හමුවේ අභිමානයෙන් නැගී සිටීමට ද එය ඉවහල් විය.

මෙවර ජාතික වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත ව තිබුණ ද පවතින වසංගත තත්ත්වය ඊට බාධා පැමිණුවේ ය. එසේ වුව ද උතුම් වෙසක් දිනය අර්ථවත් ව සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී නිවසේ සිට බැති සිතින් උතුම් වෙසක් තෙමඟුල මෙවර සමරන ලෙස සියලු ම ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.

කොවිඩ් වසංගතය මුළු ලොවින් ම තුරන් වී සියලු ජනතාවට පෙර පරිදි නිරෝගීමත් ව ජීවත් වීමට හැකිවේවා! යැයි මෙම උතුම් වෙසක් දිනයේ ඔබ කරන ප්‍රාර්ථනාවට බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මම ද එක්වෙමි.

සියලු ලෝ සතුනට ඉවසීම දයාව කරුණාව හා මෛත්‍රිය සපිරි ශ්‍රී ශුභ වෙසක් මංගල්‍යයක් වේවා!

 
 
 
 
 
 
 
 
 
.
 
 
 
 
 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter