කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මක ව ආධාර පාර්සල් බෙදා දීමේ අවස්ථාව අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි. සංචරණ සීමා පැනවීම හේතුවෙන් ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන වෙනුවෙන් මෙම ආධාර බෙදා දීමේ ව්‍යාපෘතිය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අගමැතිතුමා විසින් ආරම්භ කෙරුණි. 


මෙයට පෙර රට වසා දැමූ අවස්ථාවල සහ සංචරණ සීමා පැන වූ කාලවල දී ද මෙලෙස ආගමික ස්ථාන සඳහා ප්‍රත්‍ය පහසුකම් සැපයීම අඛණ්ඩව සිදුවිය. මෙම වැඩසටහන ඔස්සේ ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන, මෙහෙණි ආරාම ඇතුළු සියලු ම ආගමික ස්ථානවලට "සතොස" සහයෝගය ඇති ව වියළි ආහාර පාර්සලයක් හිමි වීමට නියමිත ය.
මෙම වැඩපිළිවෙළ යටතේ සියලු ම ආගම් නියෝජනය වන පරිදි ආධාර පාර්සල් බෙදා දීම අද දින සංකේතවත් කෙරිණි. ඒ අනුව පූජ්‍ය කොළොන්නාවේ සුගතවංශ හිමි, පූජ්‍ය වටගෙදර විමලබුද්ධි හිමි, ලින්තොටගේ ප්‍රශාන් ඩිලන්ත ප්‍රනාන්දු පියතුමා, වෑකන්ද ජුම්මා පල්ලියේ නසීර් මව්ලවිතුමා, වැල්ලවත්ත සිවසිරි වී. සෝමසුන්දර පූජකතුමා වෙත පාර්සල් බෙදා දීම සිදු විය.


රාජකීය පණ්ඩිත පූජ්‍ය අග්‍රහැර කස්සප නාහිමි සහ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ද මෙම අවස්ථාවට වැඩම කොට වදාළහ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අතිරේක ලේකම් (සංවර්ධන) ජේ.සී. රණේපුර, අධ්‍යක්ෂ (සංවර්ධන) කේ.කේ. චම්පිකා කනේරු, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.