2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ සමාරම්භක සැසිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළකල අදහස්. 

‘‘මෙම අවස්ථාව, ශ්‍රී ලංකාව සිය ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකින්ම ලබාදෙන විවිධාකාර හා බහුල වු ආයෝජන අවස්ථා පිළිබඳව පූර්ණ දෘෂ්ටියක් ලබාදෙයි.
මෙම සැසිවාරය, ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික නායකයින් සමග ආයෝජන මණ්ඩලය, කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක් වේදිකාවකට කැඳවනු ලබයි. මෙය අපගේ ආයෝජන පරිසරය පිළිබඳව ශක්තිමත් සංවාදයක් අතිකරලීමට සහ තොරතුරු හුවමාරු කරගැනීමට ඇති අවස්ථාවන් දිරිගන්වන අතර, එය සෘජු ආයෝජන සඳහා ඇති අවස්ථාවන් මෙන්ම ප්‍රාග්ධන වෙළඳපොළවල සහ ණය වෙළෙඳපොළවල පවතින අවස්ථා ද ඉස්මතු කරනු ඇත.
මෙම ආයෝජන සමුළුව ශ්‍රී ලංකාව තුළ පවත්වන්නේ අප රටට ඉතා වැදගත් අවස්ථාවකය.
දශකයක් තුළදී ජාතික නිෂ්පාදනය වර්ධනය තුළින් වේගවත් ආර්ථික වර්ධනයක් ඇතිකිරීමෙන් 2030 වන විට අපගේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 8,000 දක්වා දෙගුණ කිරීම උදෙසා අප රජය සැලසුම් යොදා ඇත.
අපගේ අද්විතීය භූ මුලෝපායික පිහිටීම, දේශපාලන ස්ථාවරත්වය, ශක්තිමත් ආයතන සහ සාමාජයීය ව්‍යුහය උගත් හා දක්ෂ ශ්‍රම බලකාය සහ උසස් ජීවන තත්ත්වය යනාදී සාධක ශ්‍රී ලංකාවේ වර්තමාන ශක්තීන්ගෙන් කිහිපයකි. අපගේ වර්ධන ඉලක්ක සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට මෙම සාධක අප ප්‍රයෝජනයට ගන්නෙමු.
ඊට අමතරව, අපගේ යටිතල පහසුකම්වල සැලකිය යුතු මට්ටමේ වැඩි දියුණු කිරීම් අඛණ්ඩඩ සිදු කෙරෙමින් පවතී.
පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිබල උත්පාදනය වැඩි කිරීම, මාර්ග හා දුම්රිය ජාල වැඩිදියුණු කිරීම තුළින් සබඳතාවයන් වර්ධනය සහ අපගේ වරායන් තවදුරටත් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම අපගේ සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කරලීමට පහසුකම් සපයයි.
ස්ථාවර සාර්ව ආර්ථික පරිසරයක් තුළ ප්‍රතිපත්ති ස්ථායිතාව සහ අනුකූලතාව පවත්වා ගැනීමට අපි දැඩි ලෙස කැපවී සිටිමු.
ආයෝජකයින් සඳහා වැඩි ප්‍රතිචාරයක්, විනිවිදභාවක් සහ ආරක්ෂාවක් සහතික කිරීම සඳහා අපගේ නෛතික හා නියාමන රාමු සංශෝධනය වෙමින් පවතියි. අනවශ්‍ය නිලධාරීවාදය ඉවත් කෙරෙන අතර ව්‍යාපාර කටයුතු සිදුකිරීමට වඩා පහසුවන ආකාරයෙන් ක්‍රියාපටිපාටීන් විධිමත් කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන්, මෙම වෙනස්කම් සුපරීක්ෂණය කිරීමටත්, ආයෝජන සඳහා දැනටමත් අපගේ පවතින ධනාත්මක පරිසරය තවදුරටත් වර්ධනය කිරීමටත් මම අධිෂ්ඨාන කරගෙන සිටිමි.
ශ්‍රී ලංකාවේ බොහෝ ආර්ථික ක්ෂේත්‍රයන්හි විදේශීය හා දේශීය ආයෝජකයින්ට එක හා සමානවම විශාල ප්‍රතිලාභ ලබාදිය හැකි සුවිශේෂි අවස්ථාවන් පවතියි.
ප්‍රධාන ගෝලීය කේන්ද්‍රස්ථාන වලට ගුවන් මගින් පැය කිහිපයකින් ළඟා විය හැකි භූමුලෝපායික පිහිටීමක් ඇති ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම සම්බන්ධිත රටවලින් එකකි. වාණිජ අගනුවර වන කොළඹ, කලාපයේ වඩාත් ආකර්ශනීය සහ ජීවත්වීමට සුදුසු නගර වලින් එකකි.
ඉතාම උසස් නේවාසික, වාණිජ, සමාජයීය සහ විනෝදාස්වාද පහසුකම් සහිත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් මෙම නගරය දැනටමත් ලබාදෙන බොහෝ අවස්ථාවන් තවදුරටත් වැඩිදියුණු කරනු ඇත.
අපගේ දැක්ම වන්නේ, වරාය නගරය ලෝකයේ වේගයෙන් වර්ධනය වන කලාපයන් අතුරින් ප්‍රධාන සේවා සපයන මධ්‍යස්ථානයක් බවට පත්කරලීමයි. එහි පදිංචිකරුවන්ට ඵලදායී කාර්යයන්වල නිරතවීමට අවශ්‍ය සියලු පහසුකම් ඇති අතර පැරණි හා නව සංකල්පයන්ගෙන් සම්මිශ්‍රණය වු විචිත්‍රවත් නිවර්තන වෙරළබඩ පරිසරයක ඉතා උසස් ජීවන තත්ත්වයන් භූක්ති විඳින අතරතුර ඔවුන්ට තම කාර්යයන් සිදුකළ හැක.
පුළුල් ආර්ථික බලපෑමත් ඇති කළ හැකි ව්‍යාපාර සඳහා විශේෂ දිරිගැන්වීම් සහ වැඩි සහන සහතික කරනු වස්, විශේෂ නීති දැනටමත් සම්මත කර ඇත. මෙහි ආයෝජනය කිරීමෙන් වරාය නගරය ලබාදෙන සුවිශේෂි ශක්තීන් සහ පුළුල් අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අපි සියලු රටවල ප්‍රමුඛ ව්‍යාපාරිකයින් දිරිමත් කරමු.
ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාව පෙරදිග හා අපරදිග සම්බන්ධ කළ කේන්ද්‍රස්ථානයකි. කොළඹ සහ හම්බන්තොට හි පවතින ලෝක මට්ටමේ වරාය යටිතල පහසුකම් මගින් කාර්යබහුල වූ ඉන්දියානු සාගරයේ ගමන් කරන විශාලතම බහාලුම් නැව්වලට පවා සේවා සැපයීමට රට සමත් වේ.
එබැවින්, කලාපයේ ප්‍රතිනැව්ගත කිරීමේ සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස රට මනාව ස්ථානගත වී ඇති අතර, මෙම අංශයේ ආයෝජන සඳහා අපි දැඩි ලෙස උනන්දු කිරීම් කරන්නෙමු. මේ සඳහා පහසුකම් සැලසීම සඳහා, එවැනි ආයෝජනවලට බාධා විය හැකි සම්ප්‍රදායික නීති සහ රෙගුලාසි නැවත සලකා බලමින් සංශෝධනය කරමින් සිටී.
ඉතා සාරවත් පරිසරයක් සහ වගාවන් සම්බන්ධ ගැඹුරු ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවට වසර දහස් ගණනක් පුරා පැතිරී ඇති පොහොසත් ගොවිජන උරුමයක් ඇත.
දේශගුණික විපර්යාස ලොව පුරා ආහාර සුරක්‍ෂිතතාවයට වැඩි වැඩියෙන් තර්ජනයක් වී ඇති හෙයින්, අපගේ කෘෂිකාර්මික නිෂ්පාදන ඉතා යුහුසුළුව හා තිරසාරව ඉහළ නැංවීම සඳහා මෙම පොහොසත් උරුමය නව තාක්‍ෂණික දියුණුව සමඟ ඒකාබද්ධ කිරීමට අපි උත්සාහකරමු.
සෞඛ්‍ය සම්පන්න හා කාබනික කෘෂිකර්මාන්තයකට සහය දැක්වීම සඳහා මගේ රජය දැඩි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්නබව අගයන කලාපයේ ජනතාවට උසස් තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමට අනාගතයේ දී ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව මාගේ විශ්වාසයයි. මෙම සන්දර්භය තුළ ආයෝජන සඳහා බොහෝ අවස්ථාවන් නිර්මාණය වනු ඇත.
අපගේ වනාන්තර ආවරණය තවදුරටත් ඉහළ නැංවීම සඳහා වන අපගේ ජාතික කැපවීම සැලකිල්ලට ගෙන, ඉඩම් භාවිතය තවදුරටත් වැඩි නොකර අපගේ කෘෂිකාර්මික පදනමේ ඵලදායිතාව වැඩිදියුණු විය යුතුය.
එබැවින් කාබනික, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර මාර්ගවලින් ඵලදායීතාව ඉහළ නැංවිය හැකි නව තාක්‍ෂණයන් හා ගොවිතැන් ක්‍රම සඳහා සිදුකරන ආයෝජනය අපි සාදරයෙන් පිළිගනිමු. අපගේ සත්ව පාලන සහ ධීවර අංශවල ඵලදායිතාව තිරසාරව ඉහළ නැංවිය හැකි දියුණු කිරීමේ ක්‍රමවේදයන් ද අපි අපේක්ෂා කරමු.
අපගේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මෙන්ම තේ, රබර් සහ පොල් වැනි අපගේ සාම්ප්‍රදායික අපනයන භෝග වල අපනයන හැකියා විභවය ඉහළ දැමිය හැකි අගය එකතු කිරීමේ ව්‍යාපාර සඳහා කෙරෙන ආයෝජන දැඩි ලෙස දිරිමත් කරනු ලැබේ.
ශ්‍රී ලංකාව සිය කාර්මික පදනම පුළුල් කිරීමට ගන්නා උත්සාහයේදී සපුරාලිය යුතු වඩාත් වැදගත් අවශ්‍යතාවයක් වනුයේ විදුලිබල උත්පාදනය වැඩි කිරීමයි.
වසර 2030 වන විට අපගේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70% ක්ම පිරිසිදු, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවන බව සහතික කිරීම සඳහා පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට මගේ රජය කැපවී සිටී.
එබැවින් අපගේ විදුලිබල සැපයුම තිරසාරව ඉහළ නැංවිය හැකි සහ කාර්මිකකරණය තවදුරටත් වැඩි දියුණු කිරීමට සහ ආර්ථික වර්ධනය සඳහා වේදිකාව සැකසිය හැකි මහා පරිමාණ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදුකරන ආයෝජන සඳහා අපි ආරාධනා කරන්නෙමු.
අධි තාක්‍ෂණික කර්මාන්ත කිහිපයක භාවිතා වන බොහෝ අමුද්‍රව්‍ය ප්‍රභවයන් ශ්‍රී ලංකාවේ ඇත. මෙම සම්පත් වලට වටිනාකමක් එක් කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා ආයෝජන දිරිගැන්වීමට අපි උනන්දු වන අතර එමඟින් අනාගතයේදී ගෝලීය වෙළඳපොළ සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදකයෙකු බවට පත්වීමේ මාවතට රට යොමු කිරීමට හැකි වනු ඇත.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශය විශේෂයෙන් ශක්තිමත් ය. ජාත්‍යන්තරව සිය සලකුණ තැබූ සමාගම් කිහිපයක් අප සතුව ඇති අතර ඉහළ ගුණාත්මක බවින් යුතු අධ්‍යාපන ආයතන සෑම වසරකම මෙම ක්ෂේත්‍රයෙන් දක්ෂ සේවකයින් බොහෝ පිරිසක් බිහි කරයි.
අපගේ අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් අනාගතයේදී අපගේ තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය හා ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවනු ඇත. එවැනි කුසලතා සංවර්ධනයට අමතරව රජය වෙනත් ක්‍රියාකාරී පියවර ගනිමින් සිටී. තොරතුරු තාක්‍ෂණ උද්‍යාන ඇතුළු නව යටිතල පහසුකම් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි තාක්‍ෂණ සමාගම් සඳහා ශුන්‍ය බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඇතුළුව සහාය ප්‍රතිපත්ති යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම මෙයට ඇතුළත් ය
ශ්‍රී ලංකාවේ ටෙරාබයිට් මිලියන ගණනක් දත්ත සම්ප්‍රේෂණය කරන මුහුද පත්ලෙන් සම්බන්ධ කර ඇති ප්‍රධාන රැහැන් වලට භූගෝලීය වශයෙන් සමීප නිසා දත්ත මධ්‍යස්ථාන සහ කලාපයේ තොරතුරු අවශ්‍යතා සපුරාලන වෙනත් මෙහෙයුම් සඳහා ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කරයි.
ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව රටේ නෛතික හා නියාමන පරිසරය ගෙන ඒම සඳහා සකස් කරමින් ඇති පුද්ගලික දත්ත සුරැකීම පිළිබඳ නව නීති සම්පාදනය කිරීමත් සමඟ මෙම විභව ශක්තිය තවදුරටත් ශක්තිමත් කෙරෙමින් පවතී.
ලොව පුරා සිටින සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස දිගු කලක් තිස්සේම ජනප්‍රිය වේ. දැනට පවතින COVID-19 වසංගතයට එය දැඩි ලෙස ඝෘණාත්මකව බලපා ඇතත්, වසංගතයෙන් පසුව නැඟී සිටින සංචාරක උද්යෝගයෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාව සිය විචිත්‍රවත් සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීමට උත්සාහ දරමින් සිටී.
එබැවින් ඉහළ මට්ටමේ වියදම් දැරීමට කැමති සංචාරකයින් රටට ආකර්ෂණය කර ගත හැකි හෝටල්, නිවාඩු නිකේතන, විනෝදාස්වාද පහසුකම් සහ අත්දැකීම් සහිත සංචාරක ව්‍යාපෘති සඳහා ආයෝජන අප පිළිගනු ලැබේ.
ගෝලීය වශයෙන් පිළිගත් පෞද්ගලික රෝහල් සහ අන්තර්ජාතික මට්ටමේ ඉහළ සුදුසුකම් ලත් පළපුරුදු වෛද්‍ය වෘත්තිකයන්ගෙන් අනුකූල ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සමඟින්, වර්ධනය වන ගෝලීය වෛද්‍ය සංචාරක කර්මාන්තයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට ද, ශ්‍රී ලංකාව සූදානම්ව සිටී.
අපගේ ඉහළ සුදුසුකම් ලත්, පළපුරුදු, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෛද්‍ය වෘත්තිකයන් සහ අපගේ පිළිගත් පෞද්ගලික රෝහල් සමඟ ශ‍්‍රී ලංකාව වෛද්‍ය සංචාරක කර්මාන්තයේ ආයෝජනය සඳහා ද හොඳ තැනක සිටී. ශ‍්‍රී ලංකාවේ අපට උරුම වුණු මානසික සුවය, පරිපූර්ණ සුවය වැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පහසුකම් සපුරාලිය හැකි සංචාරක ව්‍යාපෘති සඳහා වන ආයෝජන ද අපි සාදරයෙන් පිළිගනිමු.
ආකර්ශනීය ස්ථාන, හොඳ යටිතල පහසුකම්, උසස් ජීවන තත්ත්වය සහ එහි ගතික, ක්‍රියාශීලී හා බුද්ධිමත් තරුණ තරුණියන් සිටින ශ්‍රී ලංකාව, කලාපය පුරා සිසුන් ආකර්ෂණය කරගත හැකි ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා ශක්‍ය ගමනාන්තයක් බවට පත් කළ හැකිය.
එවැනි ආයෝජන සඳහා සහාය දීමට මගේ රජය සූදානම්, මෙම ආයෝජන මෙහිදී මා සාකච්ඡා කළ වෙනත් බොහෝ අංශයන් සඳහා පරිවර්තනය කළ හැකි වේ.
මෙම අවස්ථාවට සහභාගිවන්නන්ට මෙම දින තුන තුළදී, මේවා හැදෑරීමට හැකි වන අතර ශ්‍රී ලංකාව විසින් සපයනු ලබන තවත් බොහෝ අවස්ථාවන් විස්තරාත්මකව අධ්‍යයනය කළ හැකි වනු ඇත.
එමෙන්ම, ඔබට ඉහළ මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම කාර්මික විශේෂයින්, ව්‍යාපෘති හිමිකරුවන් සහ ශ්‍රී ලංකාවේ ඔබේ ආයෝජන අභිලාෂයන්ට සහාය විය හැකි අනාගත හවුල්කරුවන් සමඟ සෘජුව සම්බන්ධ වීමට ඔබට හැකි වනු ඇත.
ශ්‍රී ලංකා රජය පෙර සූදානමක් සහිතව හා ව්‍යාපාරික කටයුතුවලට ඉතාමත් ගැතිව කටයුතු කරයි. අපගේ ආර්ථිකයට මෙන්ම අපගේ ජාතික පැතිකඩට ද පරිවර්තනීය බලපෑමක් ඇති කළ හැකි ආයෝජන කෙරෙහි අපි අවධානය යොමු කරනු ඇති අතර, එවැනි ආයෝජනවල සාර්ථකත්වය සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට අපි අපේ උපරිමය කරන්නෙමු.
අප දැන් සිටින්නේ ශ්‍රී ලංකාව නඟා සිටුවීමට පමණක් නොව සමස්ත කලාපයටම ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි එමගින් විවිධ අංශ හරහා සහ විවිධ උපාංග හරහා ආයෝජකයින්ට ඉමහත් වටිනාකමක් ලබාදෙනු ලබන ජාතික මට්ටමේ පරිවර්තනයක් අභියසයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් මෙම පරිවර්තනීය ගමනට අප හා එක්වන ලෙස මම ඔබට ආරාධනා කරමි...‘‘