විශ්‍රාම ලත් හෙද හෙදියන් සේවා අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුම අද (09) සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.
හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.
දිවයින පුරා හෙද හෙදියන් 34 000ක් පමණ මේ වන විට සේවයේ නිරත ව සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලු සඳහා කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකක සඳහා නුපුහුණු හෙදියන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ. දැනට වසරකට පුහුණුව සඳහා බඳවා ගන්නේ හෙද හෙදියන් 2000ක් තරම් අඩු පිරිසක් නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සෞඛ්‍ය ඇමැතිනිය පෙන්වා දුන්නා ය.
එම නුපුහුණු හෙද හෙදියන් අදාළ ඒකකවල සේවය කරන කාලය ද පුහුණු කාලයට එක් කිරීමට හා ඊට අමතර ව දැඩි සත්කාර ඒකක සේවයට කෙටි කාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන ලෙසද අගමැතිවරයා දැනුම් දී තිබේ.
එහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, දැනටමත් හෙද හෙදියන් 840 දෙනෙකුට දැඩි සත්කාර ඒකක සේවා සම්බන්ධයෙන් කෙටි කාලීන පුහුණුවක් දී ඇති බවත් තවත් 1000කට ආසන්න පිරිසකට කඩිනම් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් කියා සිටියේ ය. එසේ ම හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සන්දේශය මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා මෙහි දී අනාවරණය කළේ ය.


සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.ඒ.ඩී. කල්‍යාණි, උප සභාපති ආර්.කේ. බටුවිට, උප ලේකම් පුෂ්පා රම්‍යානි ද සොයිසා, කඳාන හෙද විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.ඒ. කීර්ති යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.