අද (12) ට යෙදී තිබෙන ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවිඩය.

‘‘ගෝලීය වශයෙන් ළමා ශ්‍රම භාවිතය තුරන් කිරීමට අන්තර් ජාතික කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෝක ප්‍රජාව පෙළ ගස්වමින් සිටින කාලයක ළමා ශ්‍රම භාවිතය තුරන් කිරීමට සාධනීය කාර්යභාරයක් ඉටුකර තිබෙන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අදට යෙදී තිබෙන "ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය" වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
"ළමා ශ්‍රමය තුරන් කරන්න - දැන් ම ක්‍රියාත්මක වන්න" තේමාවෙන් ලෝකය ම අද පෙළ ගැසෙන්නේ 2021 වසර ළමා ශ්‍රමය තුරන් කිරීමේ අන්තර් ජාතික වර්ෂය ලෙස ද නම් කිරීමට කටයුතු කරමින් ඇති බව මම ඔබට සිහිපත් කරමි.
අන්තර් ජාතික කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ගෝලීය තිරසර ඉලක්කයක් ලෙස 2025 වසර වන විට ළමා ශ්‍රම භාවිතය ලොවෙන් තුරන් කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළකට මුලපුරා තිබේ.
දරුවන්ගේ අනාගතය සුබවාදී මාවතකට ගෙන ඒම වෙනුවෙන් අතීතයේ කැපවීම් කළ අප අදත් ඒ වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.
රජයක් ලෙස ළමා ශ්‍රම භාවිතය තුරන් කිරීම සඳහා මේ දක්වා ගෙන ඇති වැදගත් තීන්දු තීරණ හේතුවෙන් ඉතා නුදුරේ දී ම ගෝලීය තිරසර ඉලක්ක සපුරමින් ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය තුරන් කිරීමට හැකිවනු ඇති බව මාගේ විශ්වාසයයි.
අනර්ථකාරී රැකියා සඳහා ළමුන් යොදා ගැනීම ද ඇතුළු ව සියලු ම ආකාරයේ කටයුතු සඳහා ළමා ශ්‍රමය යොදා ගැනීම් වැළැක්වීමට අණ පනත් කිහිපයක් ම මේ වන විටත් රජයක් ලෙස අපි සංශෝධනය කර තිබේ. 1956 අංක 47 දරන වසර 65ක් පැරණි "කාන්තාවන් තරුණ අය හා ළමුන් සේවයේ යෙදවීමේ පනත" සංශෝධනය කරමින් මෙතෙක් මෙරට සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 14 සිට අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට ද අපි පියවර ගත්තෙමු. ඒ අනුව දැන් වයස අවුරුදු 16ට අඩු ළමුන් ශ්‍රී ලංකාව තුළ සේවයේ යෙදවීම තහනම් අතර එය දඬුවම් ලැබිය හැකි වරදකි.
කම්කරු දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කැපවීමෙන් කටයුතු කරන අතර, ළමුන් සේවයට යෙදවීම් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවත්, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියත්, පරිවාස දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයත් ප්‍රසංශනීය සේවයක් ඉටුකරයි. ළමයාගේ ළමා කාලය අපි ලබා දිය යුත්තේ ළමුන්ට ම ය. විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය ද ඔවුන්ට ලබා දිය යුතු ය. නිසි ගෞරවය ද හිමිවිය යුතු ය. මෙම නව වෙනසින් ඒ සියල්ල ළමයාට හිමි ව ඇත්තේ අවුරුදු 16 දක්වා අනිවාර්ය විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය ද තහවුරු කරමිනි.
ඒ අනුව පාසල් නොයන වයස අවුරුදු 16ට අඩු ළමුන් හඳුනා ගනිමින් පාසල් වෙත යොමු කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ද කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු ව ආයතන කිහිපයක් එක්ව ක්‍රියාවට නංවා තිබේ.
මෙරට යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ.ය සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා ළමුන් යොදා ගැනීම් බහුල ව සිදුවිය. ඒ හේතුවෙන් ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලොව නම් දැරූ රටක් ලෙස සැලකිනි. වසර 12 කට පෙර ඊට ද අපි නැවතීමේ තිත තැබු නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල දරුවන්ට ද ළමයින්ට හිමි සියලු ම අයිතීන් හිමිකර දීමට අපි කැප වී ඇත්තෙමු.
ඒ අනුව ළමා ශ්‍රමය පමණක් නොව, ළමයින්ට එරෙහිව සිදුවන සියලු ම ආකාරයේ හිංසන වැළැක්වීම සඳහා අන්තර් ජාතික ප්‍රඥප්ති හා බැඳීම්වලට අනුගතව අපි රටක් ලෙස කටයුතු කරමින් සිටිමු. අද අප ළමුන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ වර්තමාන ළමා පරපුර පමණක් නොව අනාගත ළමා පරපුර ගැන ද කල්පනා කරමිනි.
එබැවින් ළමා ශ්‍රමයට පමණක් නොව, ළමයාට සිදුවන සියලු ම හිංසන සහ අපරාධ පිටුදකිමින් ඊට එරෙහිව නැගී සිටීමට කිසි විටකත් පසුබට නොවන මෙන් ශ්‍රී ලංකාවේ ආදරණීය ජනතාවගෙන් මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි..‘‘