ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවිඩය. 

‘‘ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදට (14) යෙදී තිබේ. ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී තවත් ජීවිතයක් රැක ගැනීම උදෙසා සිය රුධිරය දන් දෙන නිහඬ වීරයින් පිරිසක් වන රුධිර පරිත්‍යාගශීලීන්ට මම මගේ ප්‍රණාමය පුද කරමි. එසේ ම දිවයින පුරා වාර්ෂිකව රුධිර පරිත්‍යාග වැඩසටහන් සංවිධානය කරන පිරිස ද මම මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරමි.
වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය සහ ඒ නිසා පනවා ඇති සංචරණ සීමා නිසා මෙතෙක් රට පුරා සිදු කළ බොහෝ රුධිර පරිත්‍යාග කටයුතු මේ වන විට බොහෝ දුරට සීමා වී තිබේ. මේ නිසා අත්‍යවශ්‍ය ශෛල්‍යකර්ම, ඇතැම් කායික රෝග තත්ත්ව, ගැබිනි මව්වරුන්ට සහ දරු ප්‍රසූති අවස්ථා සඳහා රුධිරය සපයා ගැනීමේ දී අපහසුතාවලට මුහුණ පෑමට සිදුව තිබේ.
කෙසේ වුව ද මෙම ගැටලුකාරී වාතාවරණය මැද වුව අපහසුතා අවම වන ආකාරයට දිවයින පුරා පිහිටි 107කට අධික රුධිර බැංකු කරා පැමිණ රුධිරය පරිත්‍යාග කිරීම සඳහා මේ වන විට ජාතික රුධිර පාරවිලයන සේවය (https://www.facebook.com/nbts.srilanka/) මගින් කටයුතු සම්පාදනය කර තිබේ.
මේ අවස්ථාවේ නිරෝධායනයට ලක් නොවී සිටින අපගේ නීරෝගී, සෞඛ්‍යසම්පන්න රුධිර පරිත්‍යාගශීලීන්ට රටේ රුධිර සංචිත පවත්වා ගෙන යාම සඳහා සිය මහාර්ඝ දායකත්වය ලබා දීමට එකතු වන ලෙස ආරාධනා කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි...‘‘