ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව එහි සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මිය විසින් අරලියගහ මන්දිරයේ දී අද (16) අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වුණි. 2019 දෙසැම්බර් 31 වැනිදාට රුපියල් ට්‍රිලියන 1.2ක් ලෙස සටහන් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය සියයට 17.8ක වර්ධනයක් සමගින් 2020 දෙසැම්බර් 31 දිනට රුපියල් ට්‍රිලියන 1.4 බවට පත්ව තිබේ.
රජය හඳුන්වා දුන් නව ආර්ථික ක්‍රියාවලියට මුල පිරීම හේතුවෙන් 2020 වසර තුළ දී ඉතිහාසයේ මෙතෙක් වාර්තා කරන ලද ඉහළ ම බදු පෙර හා බදු පසු ලාභය ළඟා කර ගැනීමට ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත් වී ඇත.
ඒ අනුව 2019 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 10.5ක බදු පෙර ලාභයට සාපේක්ෂව සියයට 49.5ක වර්ධනයක් සමග රුපියල් බිලියන 15.6ක බදු පෙර ලාභයක් ද පෙර වර්ෂයේ සටහන් වූ රුපියල් බිලියන 6.4ක බදු පසු ලාභයට සාපේක්ෂව සියයට 58.4ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 10.1ක බදු පසු ලාභයක් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව වාර්තා කර තිබේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත ණය පිරිනැමීම්වලින් සියයට 90ක් සියයට 7 සහන පොලී අනුපාතයක් හා අදාළ ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීම යන ණය සහන මගින් ආවරණය කර තිබිණි. මෙයට අමතරව පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද 2021 පළමු කාර්තුව තුළ ද අඛණ්ඩ හා ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත් වී ඇත.
රජය විසින් යෝජිත ණය සහන 2020 වර්ෂය සඳහා ලබා දීම මේ වන විට අවසන් කර ඇති බවත් නිවාස ණය සහ පෞද්ගලික ණය ලබාදීම් ද සාර්ථකව ඉටු කර ඇති බවත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මිය පැවසුවා ය.
රාජ්‍ය සේවයේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා සියයට 6.75ක සහන පොලී අනුපාතයකට වසර 15ක දී ගෙවා අවසන් වන විශේෂිත ණය යෝජනා ක්‍රමයක් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් හඳුන්වා දී තිබේ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන, සාමාන්‍යාධිකාරී අජිත් පීරිස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.