අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (18) අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය. 
ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත්බිම් ජල ගැලීම්වලට ලක්වීමෙන් ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.
එක් එක් ආයතන වෙත බෙදා දී ඇති කාර්ය නිසි පරිදි ඉටු නොවීම හේතුවෙන් ජනතාව මෙන් ම රජය ද අපහසුතාවට පත් වන බව පෙන්වා දුන් එතුමා, මේ වන විට ආරම්භ කර තිබෙන ව්‍යාපෘති අතරමග නවතා දැමීමකින් තොරව අවසන් කිරීම සඳහා සියලු ආයතන එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.
ජනතාවට එලෙස කඩිනම් විසඳුම් ලබා දිය යුතු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ක්‍රමවේදයට යටත්ව ලබා දෙන බව ද අගමැතිවරයා පැවසුවේය. 
පෙතියාගොඩ, අඹතලේ, ඔලියමුල්ල ජල පොම්පාගාර ආශ්‍රිතව කළ යුතු සංවර්ධන ව්‍යාපෘති, වැසි ජලය බැස යන ඇළ මාර්ග පවිත්‍ර කිරීම සහ සංවර්ධනය කිරීම, නව පොම්පාගාර මගින් ජලය බැහැර කිරීම මෙන් ම ජනතාව පහත් බිම්වල ජල ගැලීම්වලට ගොදුරු නොවන ආකාරයට පදිංචි කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ ව මෙහි දී අවධානය යොමු විය.
සාමුහිකව ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට වගකීමක් තිබෙන බව පෙන්වා දුන් මම අදාළ ව්‍යාපෘති කඩිනමින් අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය. විවිධ රාජ්‍ය ආයතන වෙත අලුතින් අනියුක්ත කර ඇති බහු කාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායේ රැකියාලාභීන් රටේ සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද උපදෙස් ලබාදුන්නේය.
එසේ ම කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මගී බෝට්ටු ප්‍රවාහන සේවය නිසි නියාමන ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රමවත් කළ යුතු බව ද අගමැතිවරයා මෙහිදී පැවසුවේය. 
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කෝට්ටේ නගරාධිපති අයි.වී.එම්. ප්‍රේමලාල්, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඩබ්ලිව්.ඩී. ශාන්ති කුමුදුනී යන මහත්ම මහත්මීහු සහ වාරිමාර්ග අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම් සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, කොළඹ මහ නගර සභාව, කෝට්ටේ, කඩුවෙල නගර සභා නියෝජනය කරමින් නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.