නීරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම වැදගත් බව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා කාබනික පොහොර සහ කාබනික වගාව පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවක දී අවධාරණය කළේය.
ගොවි ජනතාව තුළ මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් රෝපණය කර ඇති බැවින් ඔවුන් දැනුම්වත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය. පාසල් සහ පන්සල් කේන්ද්‍රකර ගනිමින් කාබනික වගාවට දරුවන් හා ජනතාව හුරුකරවීම සඳහා වැඩපිළිවෙළක් දියත් කිරීමට අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කොට තීරණයකට එළඹෙන ලෙස ද මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කාබනික වගාව රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා විද්වතුන්ගේ සහය ලබා දීම අගය කරන බවත් ජනාධිපතිතුමා කාබනික වගාව සංවර්ධනය කිරීම පිළිබඳ පැහැදිලි ස්ථාවරයක සිටින බවත් ඔහු විශේෂයෙන් සඳහන් කළේය.
ක්‍රමවත් වැඩපිළිවෙළක් තුළින් රටට නීරෝගී ජනතාවක් බිහිකර ගැනීම සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.
වසර 60කට වැඩි කාලයක් මෙරට රසායනික වගාවට හුරුවීමෙන් ජනතාවගේ සෞඛ්‍ය පිරීහීමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහි දී පැවසීය.
රසායනික පොහොර භාවිතය හේතුවෙන් ගොවියන් අන්ත දුප්පතුන් බවට පත්ව ඇති බවත් මෙරට වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන් දිනෙන් දින වර්ධනය වන බවත් කී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, රසායනික භාවිතය සහ විෂ ආහාර භාවිතය හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 50ක් පමණ මිය යන බව පෙන්වා දුන්නේය. ළමයින් වෙනුවෙන් දියවැඩියා සායන පවත්වන තත්ත්වයට පත්වීම, දරුවන්ගේ මන්ද පෝෂණය සහ අංගවිකල දරුවන් බිහිවීම ඉහළ යාම දක්වා මෙම තත්ත්වය වර්ධනය වී ඇතැයි වෛද්‍ය පාදෙණිය කියා සිටියේය.
වී සහ තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මේ වන විටත් රට තුළ තිබෙන බවත් වෙළඳුන් සහ අපනයනකරුවන් පොහොර වෙළඳපොළට නිකුත් නොකර බොරු පොහොර හිඟයක් නිර්මාණය කරමින් සිටින බවත් පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ. එසේ ම මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර කිසිදු හිඟයකින් තොරව ලබා දීය හැකි බවත් ගොවීන් 20%ක් පමණ මේ වන විටත් කාබනික ගොවිතැනට යොමුව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
රසායනික පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි අතර කාබනික එළවළු සහ පලතුරු සඳහා ඉහළ ඉල්ලුමක් මෙන්ම ඉහළ මිලක් ද නිර්මාණය වී ඇති බව සාකච්ඡාවකට එක්වූ නිලධාරීහු වැඩි දුරටත් කියා සිටියහ. විදෙස් වෙළඳපොළෙහි ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් කියුබාව, ස්විට්සර්ලන්තය වැනි රටවල් මේ වන විටත් කාබනික වගාවට යොමුව ඇති බව මෙම හමුවේ දී හෙළිවිය.
බොහෝ දිස්ත්‍රික්වලට මේ වන විටත් 95%ක් පමණ පොහොර ලබා දී ඇති අතර කාබනික නිෂ්පාදන වැඩි මිලකට මිල දී ගැනීමට රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාඩු සිදු වුවහොත් ඒ සඳහා රජය ගොවීන්ට ආධාර ලබා දෙන බව ද සඳහන් කළේය.
විදේශීය තානාපති කාර්යාල 12ක් පමණ මේ වන විට කාබනික වගාවට අවශ්‍ය සහය ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර සැප්තැම්බර් මාසය වන විට කාබනික වගාවට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර අවසන් කරන බව අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ ලේකම් ජේ.ඒ. රංජිත්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්. උදිත කේ. ජයසිංහ, කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන සැපයුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එම්.එන්. රණසිංහ, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, තිරසර සංවර්ධන සභාවේ සභාපති ක්‍රිස් ධර්මකීර්ති, කෘෂිකර්ම අමාත්‍යතුමාගේ කාබනික පොහොර උපදේශක මහාචාර්ය ප්‍රියන්ත යාපා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සහභාගී වූහ.