කොවිඩ්-19 වෛරසය ආසාධිත අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් භාවිත කිරීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ (Oxygen Concentrators -10 L) 100ක් පරිත්‍යාග කළේ ය.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙනුවෙන් එහි සභාපති ජගත් අබේසිංහ මහතා අදාළ උපකරණ තොගය ඊයේ (22) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නේය.
සහෝදර රතු කුරුස සමාජවලින් කළ ඉල්ලීමකට අනුව සිංගප්පූරු රතු කුරුස සමාජයෙන් මෙම ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ (Oxygen Concentrators -10 L) 100 පරිත්‍යාග කර තිබේ.
අගමැතිතුමා විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස තවත් වෛද්‍ය උපකරණ තොගයක් ඉදිරි සති කිහිපයේ දී ලැබීමට නියමිත බව ද ජගත් අබේසිංහ මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය භාරදුන් මෙම ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ තොගය ඒ අවස්ථාවේ දී ම කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය ඇමැතිතුමියට ලබාදී තිබේ. 
කොවිඩ්-19 වෛරසය මෙරට ව්‍යාප්ත වූ දා පටන් ජනතාව ඉන් ආරක්ෂාකර ගැනීමට හා ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විශාල කාර්යභාරයක් ඉටු කළේ ය.
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.