පෙසොන් රාජ්‍ය උත්සවය (23) සවස මිහින්තලා පුදබිමේ දී ආරම්භ විය.

මෙවර පොසොන් මහා පිංකම පවත්වන්නේ 2329 වන වරටයි. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුලු අමාත්‍යවරුන් කිහිපදෙනෙක් මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ. අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ගේ භෂ්මාවශේෂ වෙත මල් පූජා කිරිමෙන් පිංකම ඇරඹිණි. අමාත්‍යවරුන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ලේක් හවුස් ආලෝක පූජාව පැවැත්වී ය.

පිංකම ආරම්භයේ දී අනුශාසනා කරමින් මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ කොරෝනා උවදුර පවතින සමයේ වුවත් සියලු සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජන සහභාගීත්වයෙන් තොරව වුව ද මෙම පිංකම පැවැත්වීමට කටයුතු කිරිමට අතිගරු ජනාධිපතිතුමන් ඇතළු රජය ගත් තීරණය ඉතා ප්‍රශංසනීය බවයි.

අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ, මිහින්තලේ රාජමහා විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක් එක්ව පොසොන් රාජ්‍ය උත්සවය සංවිධානය කරයි.

සමාරම්භක අවස්ථාවේ දී චමල් රාජපක්ෂ, එස් .එම් . චන්ද්‍රසේන, ඩලස් අහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, දුමින්ද දිසානායක යන අමාත්‍යවරු අදහස් දැක්වූහ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පලාත් හිටපු මහා අමාත්‍ය එස්.එම්. රංජිත්, අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්. වන්නිනායක යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ හා රාජ්‍ය නිළධාරින් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. පොසොන් පොහෝ දා ආලෝක පූජාව විවෘත කිරීමට නියමිතව ඇත්තේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.