කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව අද (30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.
භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙහි දී "අභියෝග මැදින් සෞභාග්‍යයේ මාවත කරා" මැයෙන් මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කළේ ය. රජය ඉතා සාර්ථකව කොවිඩ් පළමු හා දෙවැනි රැල්ල පාලනය කළ බව කී ඒ මහතා සමාජ ආර්ථික බලපෑම් ඇති කරමින් අප්‍රේල් මාසයේ පටන් ඇරඹි තෙවැනි රැල්ලට ද සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන්නේ ය.
මෙම අසීරු කාල වකවානුවේ වුව ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සහන ලැබිය යුතු ජනතාව වෙනුවෙන් මුදල් අමාත්‍යංශය ඔස්සේ ප්‍රතිපාදන වෙන් කළ බව පෙන්වා දුන් හෙතෙම පිරිසිදු අයවැයක් පසුගිය වතාවේ ඉදිරිපත් කරනු ලැබුවේ 2019 වර්ෂයේ නොපියවා තිබූ රුපියල් බිලියන 423ක හිඟ බිල්පත් ගෙවා දමමින් බව ද සිහිපත් කළේය.
මුදල් අමාත්‍යංශ දත්තවලට අනුව 2020 වර්ෂයේ දී කොවිඩ්-19 පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117ක් වැය කර ඇති අතර 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53ක් වැය කර තිබේ. අදාළ කාලය තුළ එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92ක් වැය කර ඇති බව එස්.ආර්. ආටිගල මහතා පෙන්වා දුන්නේ ය.
පොලී අනුපාත අඩු කරමින් ද ණය සහන ලබා දෙන අතර උද්ධමනය 04% - 06%ක පවත්වා ගෙන යාමට හැකි වූ බවත් පසුගිය මැයි මාසයේ එය 06.1% සිට 06.2% දක්වා ඉහළ ගිය ද එය නැවත අඩු කර ගැනීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව ද එස්.ආර්. ආටිගල මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
විමධ්‍යගත අරමුදලෙන් මේ වන විට රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගණන 11000ක් බව ද මෙහි දී හෙළිදරව් විය. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මෙහි දී අදහස් පළ කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දීමනා පිරිනැමෙන සියලු කාණ්ඩවල ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව මේ වන විට සිවු වතාවක් ප්රදානය කර ඇති බව ප්‍රකාශ කළේ ය. නිෂ්පාදන ගම්මාන 500ක් ඇති කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතා කරුණු දක්වමින් කොවිඩ් හමුවේ බිඳ වැටුණු ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා දෙස් විදෙස් බැංකු සමඟ සාකච්ඡා කරමින් පොලී අනුපාත අඩු කර ණය සහන ලබා දීමට හැකි වූ බව ප්‍රකාශ කළේ ය.
විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය ක්ෂේත්රයට සම්බන්ධ ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බව කී හෙතෙම 2022 ජනවාරි මාසය වන විට ජාතික ණය සුරැකුම් ආයතනයක් රට තුළ ස්ථාපිත කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේ ය. 2020-2024 කාලය තුළ කොටස් වෙළඳපළ තුළ අලුතින් සමාගම් 500ක් ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව ද හෙතම කියා සිටියේය.
විරුද්ධ පක්ෂය විවිධ මතවාද ඉදිරිපත් කළ ද මේ දක්වා විදේශ ණය අතපසු නොකර ගෙවීමට හැකි වී ඇතැයි ද ඉදිරියටත් එම ණය වාරික අතපසුවීමකින් තොරව ගෙවීමට කටයුතු කරමින් සිටින බව ද මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙහි දී අවධාරණය කළේ ය.
ස්ථාන රැසක විසිරී තිබෙන මුදල් අමාත්‍යංශයේ ආයතන ජනතා පහසුව වෙනුවෙන් එක ම ගොඩනැගිල්ලකට ගෙන ඒමේ හැකියාව ගැන සොයා බලන්නැයි අගමැතිවරයා මෙහි දී මුදල් අමාත්‍යංශ හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් දුන්නේය.
රාජ්‍ය අමාත්‍යවරු වන අජිත් නිවාඩ් කබ්රාල්, ෂෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු වන ආර්.එම්.පී. රත්නායක, නීල් බණ්ඩාර හපුහින්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහ බැංකු අධිපති, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහත්වරුන් ඇතුළු රාජ්‍ය බැංකු හා මුදල් අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.